ඉදිරියේදී දුප්පත්කම වැඩිවීමෙන් ඇතිවන නැගිටීම කිසිවකුට නවත්වන්න බෑ – පාඨලී චම්පික රණවක (සජබ)

130

විදුලිබල හා ඛනිජ තෙල් සංස්ථාව අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි ඇමැති කංචන විජේසේකර
ජනපති ගත් නිවැරැදි තීන්දු හා තීරණ නිසා රටේ ආර්ථික පරිහානිය වැළකුණා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
ප්‍රශ්නය ව්‍යවස්ථාව නොවෙයි: දූෂිත දේශපාලනඥයන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වී නිවැරදි තීන්දු, තීරණ ගැනීම නිසා රටේ ආර්ථික පරිහානිය වැළකී ගිය අතර එබැවින් ඉදිරියේදී නව ආර්ථික පිම්මක් පැනීමටද හැකිවනු ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (6 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

ප්‍රථමයෙන් ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශය, ලිපි ලේඛන, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

ඉන්පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුනේදී ඊයේ සිදු කළ රටේ ආර්ථිකය පිළිබඳ විශේෂ ප්‍රකාශය පිළිබඳව කල් තැබීමේ විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින්, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ)

ආර්ථිකය ගොඩනැංවීමට ජනාධිපතිවරයා රජය ගන්නා පියවර ඉදිරිපත් කළා. මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට යම් යම් පීරිස් සූදානම් වෙනවා. සංචාරක ව්‍යාපාරය කඩා දැමීමට සූක්‍ෂම ව්‍යාපාරයක් රට තුළ යනවා. අපේ රට ජාත්‍යන්තර දර්ශකවලින් පහළට ගිහින් තියෙන්නේ. ඒ දර්ශක ඉහළට ගෙන ගොස් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි කැපවිය යුතුයි. 225 ම වගකීම එයයි. නව ලොවට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි. ව්‍යවස්ථාවට කෑලි එල්ලලා වැඩක් නැහැ.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව ණය ආධාර දුන් රටවල් ආධාර දෙන්න පෙර ලංකාවත් විවිධ පියවර ගත යුතු බව කියනවා.

රටට ආධාර ලබා ගැනීමට නම් දූෂණය වංචාව වැළැක්වීමට පියවර ගත යුතුයි. ලෝක බැංකුව ණය දුන්නත් විගණන කටයුතු ඔවුන්ම කරන බව කියනවා. මහා පරිමාණයේ දූෂණ වැළක්වීම අනිවාර්යයෙන්ම ලංකාව කළ යුතු වෙනවා. රටේ ගැටලු රැසක් තිබියදී මහ ඇමැති මණ්ඩලයක් පත්කර ගත්තා. මේවා රටට කිසිසේත් උචිත නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක

එදා මූල්‍ය අර්බුදය ආණ්ඩුව රටට සැඟවූවා. මානව හිමිකම් ප්‍රශ්නය ජාත්‍යන්තරය කතා කරන්න පෙර රට තුළ යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. නිල වශයෙන් ජන සංගණනයක් කරලා නැහැ. රටේ දුගීකම දෙගුණ වෙලා. විරැකියාව බැරෑරුම් තැනට වැටිලා. අපේ අපනයනවලට පිටරටවලින් දැවැන්ත බලපෑමක් එල්ලවෙලා. මේ නිසා ඉදිරි මාස කිහිපයේදී අපේ දුප්පත්කම පිමි කිහිපයකින් ඉදිරියට යා හැකියි. එවිට ඇතිවන නැගීසිටීම කාටවත් නවත්වන්න බැරිවේවි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කඩා වැටිලා. ඉංජිනේරු ක්‍ෂේත්‍රය ඉතා අසරණයි. ඒ නිසා රටින් පිටවීම් වැඩිවෙලා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාණගේ (සජබ)

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ආණ්ඩුවේ වත් එකඟතාවක් නැහැ. අගමැති, ජනපති දෙපැත්තට ඇද්දා. අවසානයේදී ව්‍යවස්ථා සංශෝධනය කල්දමා ගත හැකි වන පරිදි ජනාධිපති ප්‍රකාශයක් කළා. මේ ගැන විවාද කිරීමත් බොරු වැඩක්. දවසකට රුපියල් මිලියන 9 ක් විතර වැයකරන කාලයක මීට වඩා ප්‍රයෝජනවත් කාර්යක් කරන්න තිබුණා.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

ඉදිරියේදී දුප්පත්කම වැඩිවීමෙන් ඇතිවන නැගිටීම කිසිවකුට නවත්වන්න බෑ - පාඨලී චම්පික රණවක (සජබ)

අපට තියෙන අභියෝග අතරේ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමුඛයි. දෙකම බිලියන ගණනින් පාඩු ලබනවා.

සපුගස්කන්ද පිරිපහදුව මාස ගානක් වහලා තිබ්බා. විදුලිය පැය දහයකට වැඩිය කැපුවා. ඒ ්තත්ත්වය සමනය කරලා යම් සහනයක් ජනතාවට ලබාදෙන්න හැකිවී තිබෙනවා. මේ අභියෝග හමුවේ අලුත් කළමනාකරණයකින් ඉදිරියට යන්න අද අවස්ථාව ලැබී තියෙනවා. අද රට පවතින තත්ත්වය හමුවේ තෙල් ආනයනය අභියෝගයක් වුණා. එල්. සී. විවෘත කරගන්න බැරි වුණා. සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. තෙල්වලට තිබූ ණය ගෙවීම සිදුවන නිසා දැන් අවධානම ටිකක් අඩුවෙලා. ඉදිරියේදී ඉන්ධන මිල ලෝකයේ ඉහළ යෑමේ අවධානමක් තියෙනවා. එවිට ඊට මුහුණ දීමට හැකි තත්ත්වයක් තිබිය යුතුයි. විදුලිබල හා ඛනිජ තෙල් සංස්ථාව අනිවාර්යෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. අර්ධ රාජ්‍ය පුද්ගලික නොකර අනිවාර්යෙන් කාර්යක්ෂම තත්ත්වයක් ලබාගත යුතුයි. එවිට කාර්යක්ෂමව ප්‍රසම්පාදන කටයුතු සිදුවේවි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

ඉදිරියේදී දුප්පත්කම වැඩිවීමෙන් ඇතිවන නැගිටීම කිසිවකුට නවත්වන්න බෑ - පාඨලී චම්පික රණවක (සජබ)

පාර්ලිමේන්තුවේ කාලයෙන් කාලයට ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා. ඒත් රට එක තැන. ප්‍රශ්නය ව්‍යවස්ථාව නොවෙයි. දේශපාලනඥයින් දූෂිතයි. දූෂිත දේශපාලන සංස්කෘතියක් ඇතිවෙලා. මාලුවයි, ජලයයි වගේ. දූෂණය වැඩිවෙලා රට කඩා වැටිලා. දුප්පතුන් වැඩිවෙලා. මෙය නවත්වන්න දේශපාලකයන්ට අවශ්‍ය නැහැ. ඔවුන් සමෘද්ධිය දීම පමණයි කරන්නේ. සමෘද්ධියේ පිහිටෙන් දූෂිත දේශපාලනඥයන් පෝෂණය වෙනවා.

කිසිම දැක්මක් නැති දේශපාලනඥයන් නිසා රට තවත් පල්ලමට යනවා. ජනාධිපති ධුරය අහෝසි කොළොත් රටේ පාලනය පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුව දූෂිතයන්ගෙන් පිරිලා ඉන්න නිසා රට අරාජික වෙනවා. පාර්ලිමේන්තුව මෙහෙම තියෙන තාක් ජනාධිපති ධුරය අහෝසි කර වැඩක් නෑ. ජනතාව වැලේ වැල් නැතිව ඉන්නවා. පාර්ලිමේන්තුව රැස් කරගෙන ඇමැතිවරුන්ගේ දුක කියනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ. රටේ අරගලයක් විය යුතුයි. විප්ලවයකින් පමණයි දූෂිත දේශපාලනඥයන් එලවිය හැක්කේ. ජනතාව එකමුතුව යුතුකම රට වෙනුවෙන් ඉටු කළ යුතුයි. ආණ්ඩුවෙන් කැඩිලා ඇවිත් විපක්ෂයේ ඉන්නවා. එහෙම ආපු මැක්කො ඉන්නවා. අපේ පක්ෂයේ ඉඳගෙන අපටම මඩ ගහනවා.

විශ්වවිද්‍යාලවල අරගල කරපු අය පුනරුත්ථාපනය කළ යුතුයි කියලා මන්ත්‍රීවරයෙක් කියලා. ඔහු තමයි ගල්අඟුරු, ඉන්ධන වංචා පිටුපස ඉන්නේ. පරම්පරාවම හොරු. කොමිස්කරුවන් එයාර් ලංකා එකෙත් කොමිස් ගැහුවා. ඔවුන්ව තමයි පුනරුත්ථාපනය කළ යුත්තේ. දූෂිත දේශපාලනඥයන් පළවාහරින කම් මේ රටට මුදල් එවන්න එපා කියලා රට රැකියා කරන අයගෙන් ඉල්ලනවා. දූෂිත දේශපාලනඥයන් සභාවෙන් පැන්නුවොත් අපිත් ජනාධිපතිතුමා සමඟ හිටගන්නවා. හරියට ප්‍රශ්නය හඳුනාගන්න. දූෂිතයොත් එක්ක ජනාධිපතිවරයාට මේ ගමන යන්න බැහැ.

වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරියේදී දුප්පත්කම වැඩිවීමෙන් ඇතිවන නැගිටීම කිසිවකුට නවත්වන්න බෑ - පාඨලී චම්පික රණවක (සජබ)

බදු ඉවත් කළ විට විපක්ෂය එදා අඩු කළේ ඇයි කියා ප්‍රශ්න කළා. අද වැඩි කරන විට ඇයි වැඩි කරන්නේ කියලා අහනවා. විපක්ෂය දෙබිඩි ප්‍රතිපත්තියක. ඉතා අසීරු යුගයක රට ගොඩ නැගීමට ගන්නා උත්සාහය සාර්ථක වෙනවා. ප්‍රශ්න

රැසක් නිරාකරණය කරන්න දැනටමත් පියවර අරන් තියෙනවා. ජනාධිපතිගේ නායකත්වය යටතේ රට සංවර රටක් කරගන්න හැකි වුණා. දැන් ලෝකයේ හොඳනමක් ඇතිවෙලා. අපනයන වර්ධනය වැඩිවෙලා. විදේශ රැකියා වෙළෙඳපොළට වැඩි ප්‍රමාණයක් යැවීමට හැකිවෙලා. මේවායේ ප්‍රතිඵල එන්න තව මාස කිහිපයක් ගත වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ)

පාර්ලිමේන්තුවේ තවම කපුටු න්‍යාය ක්‍රියාත්මකයි. ඉන් විනාශ වන්නේ පොහොට්ටුව පමණක් නොවෙයි. රටත් විනාශ වෙනවා. ජිනීවා යෝජනා නිසා ඉදිරියේදී රටට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවේවි.

මේ පාර්ලිමේන්තුව තව වසර දෙකක් යනවා නම් ජනපති බලතල අඩුවීම ගැන හිතන්න බැහැ. මේ ආණ්ඩුව අද රිවස් ගියර් එකේ යන්නේ. අපි ආරක්ෂිත කලාප ගැසට් එක රිවස් කළා. ඒ වගේම 22 සංශෝධනය රිවස් කළා.

ගම්පහ දිස්ත්‍රිත් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ පසුවත් ජනාධිපති වූ පසුවත් අදත් කළ විශේෂ ප්‍රකාශ එක වගේමයි. ප්‍රශ්න විසඳන්න ජාත්‍යන්තරයේ සහාය ගන්නවා කියලා හැමදාම කියනවා. මානව හිමිකම් කැඩීම, විරෝධතා මර්දනය ගැන ජාත්‍යන්තරයේ අවදානයට ලක්වෙලා. ඔවුන් එසේ කරන්න එපා කියලා රටට බලපෑම් කරනවා.

පුනරුත්ථාපනය කළ යුත්තේ රටේ හොරකම දූෂණය වපුරන අයයි. තරුණ අරගල කරුවන් නොවෙයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න (ශ්‍රීලපොපෙ) :

රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සාකච්ඡා කළ යුතු මොහොතක අපේ අවධානය ව්‍යවස්ථා සංශෝධනයකට යොමු කිරීම කොතරම් සාධාරණදැයි සිතන්න.

විධායක ජනාධිපති ධුරයේ බලතල වෙනත් ආයතන වෙත පැවරීමෙන් ජනාධිපති බලය පිළිබඳ ගැටලු ඇතිවිය හැකියි. යම් ගැටලුවක් තියෙනවා නම් සමස්තයම වෙනස් කළ යුතුයි. සමස්ත ව්‍යවස්ථාව වෙනස් නොකළ බලතල කප්පාදු කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් කළහොත් අවුලක් ඇතිවී ඉන්න තැනට වඩා වැඩි ප්‍රශ්නයකට මුහුණදිය හැකියි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර :

ජනාධිපති විශාල වැඩකොටසක් කිරීමේ වුවමනාවෙන් ඉන්නවා. නමුත් ආණ්ඩුවේ ඉන්න සමහරු ඒ මතයේ නැහැ. අපිට අද ජාත්‍යන්තරය අතහැර කටයුතු කරන්න බැහැ. ජාත්‍යන්තරය අවශ්‍යමයි.

අපි දැන් එක එක රටවලින් එදිනෙදා කන්න හිඟාකන තැනට පත්වෙලා. එහෙම තිබියදීත් තවත් ව්‍යවස්ථා සංශෝධන එපා කියනවා. ලෝක බැංකුව හැමදේටම ණය දෙන තැනක් වෙලා.

මේ රට ගොඩනැගීමේ දැවැන්ත ක්‍රියාවලියක් නැත්නම් උදව් කරන්න සූදානම් නැති බව ලෝක බැංකුව කියනවා. දැන්වත් රට හදන්න සූදානම් වෙන්න.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

එදා විජේදාස රාජක්ෂ මහතා විපක්‍ෂයේ සිටියදී ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට පනත් කෙටුම්පතක් හැදුවා. ඒත් අද එ න්නෙ වෙනස් වූ එකක්. අද ලෝකය අපේ රට දෙස බලන්නේ හොර තක්කඩි රැලක් පාලනය කරන රටක් ලෙසයි. මේ රටට උදව් කිරීමට සුදුසු නැති රටක් ලෙසටයි. අපි මේ තත්වය වහාම වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. විදෙස් සංවිධාන අපිට කියන දේවල් අපේ රටට ලැබෙන සහනයන්, ආර්ථික දූෂණ ගැන පරීක්‍ෂණ කරන්න කියලා කියන්න වෙලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටයි. මේවා ජාත්‍යන්තරය කිව යුතු දේවල් නොවෙයි. නීතියට යටත්ව කටයුතු කරන්න අපි පියවර ගත යුතුව තිබුණා.

ත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් :

හෝමාගම ප්‍රදේශයේ මේ වනතෙක් මත්පැන්හල තිබුණේ නැහැ. ජනතා විරෝධය නිසා කිසිම දේශපාලකයෙක් ඒවා ඇති කළේ නෑ. එහෙත් සුපිරි වෙළෙඳ සැලකට බලපත්‍රයක් දීලා. එයට ප්‍රදේශයේ පිරිස් දැඩි විරෝධයක් පළ කරනවා. මේ ගැන අවධානය යොමු කරන්න. මේ අර්බුදයෙන් ගොඩ යෑමට සැබැවින්ම සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බවට හඬ නැගුණා. එයට නිසි ඇහුම්කන්දීමක් වුණේ නැහැ. 22 වන සංශෝධනය සමාජමය ඉල්ලීම ඉටුකළ යුතුයි. විවිධ අන්තවාදී බලවේග 22 ට රිංගලා බලය ඇති කරගන්න හදනවා නම් අපි ඊට විරුද්ධයි.

පාර්ලිමේන්තුව යළි අද (06 දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment