ඉදිරියේ පිහිටුවන අන්තර්වාර සර්වපාක්‍ෂික ආණ්ඩුවේ අගමැති, කැබිනෙට්ටුව තේරීම ජාතික සභාවකින්

428

ජාතික සභාවට සියලු පක්‍ෂ නායකයන් ඇතුළත් වෙනවා

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ඉදිරියේදී පිහිටුවන සියලු පක්‍ෂවලින් සැදුම්ලත් අන්තර්වාර පාලනයක් සහිත සර්වපාක්‍ෂික ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කර ගැනීම සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (29 දා) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඇමැතිවරු 15ත් 20ත් අතර ප්‍රමාණයකින් සැදුම්ලත් සුළු අමාත්‍ය මණ්ඩලයක් එහිදී පත්කෙරෙන බව ද හෙතෙම කීය.

ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්‍ෂ එකොළහේ මන්ත්‍රීවරුන් පිරිස අතර ඊයේ උදේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සියලු පක්‍ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළකළ බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේය.

“රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුදයන් පිළිබඳව අපි පුළුල් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පසුගිය දින කීපයේම සාකච්ඡා කළා. ඒ වගේම එකට එකතුවෙලා ඉන්න පක්‍ෂ එකොළහේ නියෝජිතයන්, නායකයන් සමඟ පසුගිය ඉරිදා සාකච්ඡා පැවැත්වූවා.

විශේෂයෙන්ම අපිට පසුගියදා (27 දා) ජනාධිපතිතුමාගෙන් ලැබුණු ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් යෝජනා කරන ලද අන්තර්වාර පාලනයක් සඳහා, ඒ කටයුත්ත කිරීමේ කාර්යය මොන විදිහට ද, ඒ ක්‍රියා පටිපාටිය කරන්නේ කොහොමද? එහි තිබෙන නීතිමය තත්ත්වයන් ගැන සාකච්ඡා කරන්න තමයි එතුමා අපිට ආරාධනා කළේ. අපි ඇත්තෙන්ම මේ තුළ කොහෙත්ම රජයට මුක්කු ගැසීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ.

මේ රටේ වරින්වර ආණ්ඩු පෙරළලා තියෙන දේශපාලන පක්‍ෂයක් විදිහට අද රටේ ජනතාව මුහුණ දී සිටින ඉතාම බරපතළ ආර්ථික පීඩනය වටහා ගෙනයි තියෙන්නේ. අපි දන්නවා රටේ සෑහෙන පිරිසක් තුන්වේල කන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ වගේම පාසල් දරුවෝ වාහනවලට අවශ්‍ය ඉන්ධන නැති නිසා පාසල්වලට එවීමට නොහැකි තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පොදු මගී ප්‍රවාහන සේවාවල පවා යම් දුප්පත් පවුල්වල දරුවන්ට අද එන්න බැරි තත්ත්වයක් මතුවෙලා තියෙනවා, බස්වල මගීන්ට නියම කරල තියෙන මිල ගණන් නිසා. ඒ නිසා ප්‍රධාන වශයෙන් ම ජනතාව මුහුණ දෙන දැඩි පීඩාකාරී තත්ත්වය ආහාර හිඟය, බඩු මිල, විදුලිය, ගෑස්, ඉන්ධන මේ කරුණු මත රට විශාල අර්බුදයක අද තියෙන්නේ. එතකොට මේ තත්ත්වය තුළ ප්‍රධාන වශයෙන් ම රටේ දේශපාලන පක්‍ෂ, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම වෘත්තීය සමිති මේ සියල්ල සාමාන්‍ය පොදු ජනතාව, උගත් තරුණ පරිස් අද වීදි බැහැලා. ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් ඒ අය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ආණ්ඩුව සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි කියලා මතයක් දරනවා. එතකොට ඒ සියලු කරුණු කාරණා තුළ අපි බැලුවේ ජනාධිපතිතුමාගේ ආරාධනයට ගිහිල්ලා මේ අන්තර්වාර පාලනයක් පිළිබඳ යෝජනාව අපේ යේජනාවක් නිසාත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනාවක් නිසාත් ඒ ගැන සාකච්ඡා කිරීමට තමයි. ඒ අනුව එයට අපි සහභාගි වුණා. ජනාධිපතිතුමා මේ පිළිබඳව එතුමාගේ අදහස් පළ කළා.

අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමා තීරණය කරලා තියෙන්නේ. එතුමා සිය කැමැත්ත දැක්වූවා අපේ සාකච්ඡාවට. ඒ වගේම අපි මේ සාකච්ඡාවට යෝජනා කළ අපි නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ මේ අන්තර්වාර පාලනයක් සඳහා ඒකරාශී කරගැනීමේ වැදගත්කම. ඒ වැදගත්කම එහිදී ප්‍රකාශ කළේ ඇත්තෙන්ම රටේ තිබෙන ආර්ථික අර්බුදය තුළ විශාල පීඩාවක් ජනතාවට ඇතිවෙලා තිබෙන නිසා ඒ පීඩාවට පත්වෙලා සිටින ජනතාව වෙනුවෙන් තමයි ඒ සාකච්ඡාව පැවැත්වූවේ. පොදු මහජනයා වෙනුවෙන්, ඒ වගේම රටේ වෙනසක් ඉල්ලන තරුණ පිරිස්, වෘත්තීය සමිති, දැන් පෙරේදා (28 වැනිදා) ඉතිහාසයේ පළමුවැනි වතාවට සියලුම රාජ්‍ය සේවකයන් එළියට බැස්සා. පරිපාලන සේවා සංගමය ඇතුළු සංගම්, මාධ්‍යවලින්ම ප්‍රකාශ කළ ආකාරයට ඊයේ විරෝධතා පැවැත්වූ වෘත්තීය සමිති සංඛ්‍යාව දාහකට එහා පනිනවා. ඉතිං මේකෙන්ම පෙනී යනවා රටේ තිබෙන නොසන්සුන්තාව.

අපි ආණ්ඩු කරපු පක්‍ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විශේෂයෙන්ම අපි යෝජනාව සාකච්ඡා කරන අවස්ථාවේ මේ ජනතාව විඳින පීඩාකාරී තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා. එතකොට අද අන්තර්වාර පාලනයක් පිළිබඳ පොදුජන මතයක් ඇතිවෙලා තිබෙනවා. ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේ නිවේදන කරමින් කියා සිටියා වහාම අන්තර්වාර පාලනයක් රටේ හදන්න සියලු දෙනාම එකතු කරගෙන කියලා. ඒ කියන්නේ අපේ යෝජනාව. ඒ වගේම රටේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ව්‍යාපාරික ක්‍ෂේත්‍රය මේ සෑම කෙනෙක්ම එක හඬින් කියන්නේ අන්තර්වාර පාලනයක් ඇති කරන්නයි කියන එක. අන්තර්වාර පාලනයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අපි කතා කළා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා අන්තර්වාර පාලනයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ ඒ තැනට එනවා නම් වහාම අන්තර්වාර පාලනයක් බිහිකරන්න තීරණය කර තිබෙනවා.

අන්තර්වාර පාලනයක් කියලා කියන්නේ සම්පූර්ණ ආණ්ඩුව ගෙනියන්නේ අන්තර් පාලන රජයක් විසින්. මේ සියලු දේශපාලන පක්‍ෂ එකතුවෙන්. එතකොට තනි පක්‍ෂයක් එහෙම නැත්නම් සන්ධානයක් විදියට. ඒක ඇතැම් වෙලාවට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්වාර පාලනයක් වෙන්න පුළුවන්. ඒ අන්තර්වාර පාලනයක් කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැහැදිලි වෙනවා ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට මැතිවරණයක් පැවැත්වීම සඳහා යන ගමනක මුල් පියවර. එතකොට අන්තර්වාර පාලනයේ දේශපාලන පක්‍ෂ නායකයන් සාකච්ඡා කරලා කොච්චර ද කාලය මාස 6 ක් ද එහෙම නැත්නම් අවුරුද්දක්ද කියා තීරණය කළ යුතු වෙනවා. ඒ අනුව රටේ විශේෂයෙන් ම ජනතාව පත්වෙලා තියෙන පීඩාකාරී තත්ත්වයෙන් ඔවුන් බේරා ගැනීම සඳහා ආහාර අර්බුදය, ඖෂධ අර්බුදය මේවා ඉතාමත් බරපතළ තත්ත්වයට පැමිණිලා තිබෙනවා.

අපිට තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් මේ වගකීමත් අරගෙන කටයුතු කිරීම, මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා. විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල එක්සත් ජාතීන්ගේ සංවිධාන ඒ වගේම යුරෝපා සංගමය අපට උදව් කරන අනෙකුත් මිත්‍ර රටවල් ජපානය, කොරියාව වගේ රටවල්. මේ සියලු රටවල්වල උදව් අරගෙන ආධාර අරගෙන ජනතාව මූලික වශයෙන්ම බඩගින්නෙන්, ආහාර හිඟයෙන් වළක්වා ගැනීම තමයි අංක 1 බවට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් කොහොමද ලබාගන්නෙ කියන කාරණාව. එතකොට අපි සාමාන්‍යයෙන් ලෝකයේ රටවල්වල අන්තර් පාලන ආණ්ඩු දැකලා තියෙනවා ලෙබනන් වගේ රටවල.

තෙල් හිඟයෙන් රට යම්කිසි සන්සුන්භාවයක් ඇතිවෙන්න ඕන. රටේ ජනතාව සෑම අංශයක්ම පාරට බැහැලා ඉන්නේ. එතකොට ගැටුම් ඇතිවෙන්න හොඳ නැහැ. මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කළා අන්තර්වාර පාලනයක් හදන්න, හදලා මැතිවරණයකට යන්න කියලා. එතකොට මහ නායක ස්වාමීන් වහන්සේලා, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන මැතිවරණ කොමිසම ඒ සියලුදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ආණ්ඩුවට ඉදිරිපත් කරපු යෝජනාවට එකඟතාවය පළ කරලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගෙන එන ලද යෝජනාව මහා සංඝරත්නය, මහ නායක ස්වාමීන් වහන්සේලා, කාදිනල්තුමා ඇතුළු අනෙකුත් සියලුම ආගමික නායකයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සංවිධාන, මේ සියලු දෙනාම අනුමත කරලා තියෙනවා. ඉතිං කොහොමද අනෙකුත් යම් දේශපාලන පක්‍ෂයක් මේ රටේ බහුතර ජනමතය වන මේ අන්තර්වාර පාලනයට විරුද්ධ වෙන්නේ. සහභාගි නොවී ඉන්නවා කියලා කියන්නේ මේ රටේ බහුතර ජනමතයට පිටුපෑමක් කියන එකත් කියන්න ඕනෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා –

නව අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පිහිටෙව්වාට පස්සේ පළමුවැනි කාර්යය විදිහට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේනවා. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා සංශෝධනය කරලා 21 වැනි සංශෝධනය ගේනවා, 20 අවලංගු කරලා. එතකොට ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට එනවා. නව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව තමයි ඒ කටයුත්ත සිදු වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා –

ජනාධිපතිවරයා ඉල්ලා අස්නොවුණොත් අස්කරන විදිහ, ඉල්ලා අස්වුණොත් මොකද වෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඒ කියන්නේ 113 කින් අලුත් ජනාධිපතිවරයෙක් පත්කරන්න ඕනෙ. මාසයක කාලයක් අගමැතිතුමාට වැඩ බලන්න පුළුවන්. ඊට පෙරාතුව අලුත් ජනාධිපතිවරයෙක් පත්කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරයකින් 113 ක් සහිතව. බැරිවෙලාවත් ඒකාන්තර බහුතරය කාට හරි නැති වුණොත් කිසිදු ප්‍රතිපාදනයක් ඒකෙ දාලා නැහැ. විශාල අර්බුදයකට රටම යනවා. ඒ විතරක් නෙවෙයි රටේ ඒකාන්තර බහුතරය තියෙන වෙනත් රාජපක්‍ෂ කෙනෙක් පත්වෙන්නත් පුළුවන්. ඒ හින්දා බොහොම පරිස්සමින් මේවා කතා කරගන්න ඕනෙ. මේ වැඩ කටයුතු කරනකොට අපි ඉතාම හොඳින් කල්පනා කරල බලල තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විදිහට මේ යෝජනාවලිය ගැන කතා කරන්නේ.

මෙම මාධ්‍ය හමුවට ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment