ඉදිරි ජනපතිවරණයේ දී තීරණය වන්නේ රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

105

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රජයේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමග ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගෑස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදුවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමග (11 දා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලුදෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.

මීට හේතු වී තිබෙන්නේ රට තුළ විධිමත් ආර්ථික ක්‍රමවේදයක් නොතිබීමයි. අපේ රට තුළ මෙතෙක් ක්‍රියාත්මක වූණේ ආනයනය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. අප අවශ්‍ය සියලු දේ ආනයනය කළා. නමුත් ඒවාට ගෙවීමට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. ඒ අතරතුර අපට යුද්ධය වෙනුවෙන් ද වියදම් කිරීමට සිදු වුණා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මෙරටට හැකියාව තිබුණා. යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුණද අප එම දියුණුව ලබා ගත්තේ නැහැ. අප පැරණි ක්‍රමවේදයම අනුගමනය කළා. මුදල් නැති වන විට ණය ලබා ගන්න පටන් ගත්තා. ඒ ණය ආපසු ගෙවීමට නොහැකි වුණා.

මේ කාලයේ ඇත්ත කතා කිරීමට කිසිවෙකු කැමති වුණේ නැහැ. නමුත් රටේ ආර්ථිකය වෙනස් විය යුතු බව අප ප්‍රකාශ කළා. ඒ සඳහා මැතිවරණවලදී පොරොන්දු ලබා දුන්නා. මේ කටයුතු කරගෙන යන විට රට විකුණන්න යනවා කියමින් ඇතැමුන් රට තුළ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් අවසානයේ අප බංකොළාත් රටක් බවට පත් වුණා.

රටට ආදායම් අවශ්‍ය නිසා 2015 වසරේදී අගමැතිවරයා ලෙස සිටියදී බදු වැඩි කිරීමට මට සිදු වුණා. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාරගෙන බදු අඩු කළා. මෙම බදු අඩු කිරිමත් සමග රටට ආදායම් අහිමි වුණා. ඒ සමගම කොවිඩ් වසංගතයත් පැමිණියා. රටට විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන 03ක් අවශ්‍ය වුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිවෙකු ඒ පිළිබඳ කතා කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අප ඒ පිළිබඳ සඳහන් කළා. වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ.

ඉදිරි ජනපතිවරණයේ දී තීරණය වන්නේ රටේ ජයග්‍රහණය හෝ පරාජයයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ලෝකයේ කිසි තැනක එක් ආසනයක් පමණක් තිබු පුද්ගලයෙක් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වී නැහැ. එසේ සිදු වුයේ මේ රටේ තිබු දේශපාලන බංකොළොත්භාවය නිසයි. රටේ වගකීම භාරගෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට වෙනත් කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

ඉන් පසුව තරුණයන්ට ද මෙම වගකීම් භාරදී ඔවුන් තුළ අවබෝධයක් ඇති කළ යුතුයි කියා අප තීරණය කළා. මෙම වැඩසටහන ආරම්භ වුණේ ඒ අනුවයි. රටේ ආර්ථිකය හදන්න ක්‍රමවේදයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ භාරගෙන රට ඉදිරියට ගෙන යාමට තරුණ පිරිස සූදානම් කළ යුතුයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment