ඉන්දියාවට කදුළු දෙමින් නවසීලන්තය ඇෆ්ගනිස්තානය පරදවයි

552

පළමු පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශුරයින් වූද, එක් වතාවක් අනු ශූරයන් වූද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැතියද මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිල සත්කාරකත්වය ඉසිලූද, ලොව ක‍්‍රිකට් දැවැන්තයන් ලෙස සැලකෙන ප‍්‍රබල ඉන්දීය කණ්ඩායමට මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාවද ඊයේ (07 වැනිදා) ගිලිහී ගියේය.

සුපිරි 12 දෙනාගේ වටය යටතේ ඊයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලද ජයග‍්‍රහණයත් සමග සුපිරි 12 වටයෙන් දෙවෙනි කාණ්ඩය යටතේ අවසන් පූර්ව තරග වරම් ලද දෙවෙනි කණ්ඩායම බවට නවසීලන්තය පත් විය.

පාකිස්තානය එම කාණ්ඩය යටතේ අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත් පළමු කණ්ඩායම බවට පත් විය.

එම කාණ්ඩය නියෝජනය කළ ඉන්දීය කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඊයේ නවසීලන්තය හා පැවැති තරගයෙන් ඇෆ්ගනිස්තානය ජය ගත යුතුව තිබුණි. එසේම අද (08 වෙනිදා* නැමීබියාව සමග පැවැත්වෙන තරගයෙන් ඉන්දියාව වැඩි ලකුණු පරතරයකින් හෝ වැඩි ලකුණු වේගයකින් තරගය ජය ගත යුතුව තිබුණි. එසේ වූවා නම් එම කාණ්ඩයේ පාකිස්තානය හැර නවසීලන්තය, ඉන්දියාව සහ

ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් තුනම තරග 3 බැගින් ජය ගෙන සම ප‍්‍රසාද ලකුණු හිමි කර ගනී.

එවිට ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත එම කාණ්ඩයේ ඉහළින්ම සිටි ඉන්දියාවට අවසන් පූර්ව තරග වටයට පිවිසීමට හැකිව තිබුණි. එහෙත් නවසීලන්තය ඇෆ්ගනිස්ථානය පරාද කිරීමත් සමග ඉන්දීය කණ්ඩායමේ එම බලාපොරොත්තු බිඳී ගිය අතර ඉන්දියාවට මෙම ඉරණම උරුම වූයේ ඔවුන් පකිස්තානය සහ නවසීලන්තය හමුවේ ලද පරාජයන් නිසාය.

මේ අතර සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ අවසන් පූර්ව තරග වරම් හිමි කර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව පෙරේදා (06 වැනිදා* සමත් විය.

එම කාණ්ඩයෙන් අවසන් පූර්ව තරග වරම් හිමි කර ගැනීමට එංගලන්තය පළමුවෙන් සමත්ව සිටි අතර පෙරේදා එංගලන්තය සමග තරගයෙන් ජය ගත්තද දකුණු අප‍්‍රිකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඔස්ටේ‍්‍රලියාවට වඩා අඩු වූ හෙයින් දකුණු අප‍්‍රිකාවට අවසන් පූර්ව තරග වරම් අහිමි විණි.

පළමු කාණ්ඩයේ එංගලන්තය කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 2.464, ඔස්ටේ‍්‍රලියාව 1.216 සහ දකුණු අප‍්‍රිකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 0.739ක් වූ අතර කණ්ඩායම් තුනම ජයග‍්‍රහණ 4 බැගින් ලබා ගෙන ප‍්‍රසාද ලකුණු 8 බැගින් හිමි කර ගෙන සිටී.

කුෂාන් සුබසිංහ සාජා නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment