ඉන්දියාවට පළමු ජය නේපාලයට පළමු පරාජය; දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලිය

120

මාලදිවයිනේ මාලේ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 13 වැනි දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියේ මූලික වටයේ පළමු ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට ඉන්දියාව සමත් වන අතර වාරයේ පළමු පරාජයේ වේදනාව අත්විඳීමට නේපාලයට සිදුවිය.

ලීග් වටයේ 08 වැනි තරගය ලෙස පෙරේදා (10* රාත‍්‍රියේදී මෙම තරගය පැවැත්වුණි. තරගාවතියේ එතෙක් අපරාජිතව සිටි නේපාලයට එරෙහිව ගෝල් 01 – 00 ක් ලෙස ජයග‍්‍රහණය වාර්තා කර ගැනීමට ඉන්දියාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර තරගාවලිය යටතේ ඉන්දියාව සටහන් කරගත් පළමු ජයග‍්‍රහණය ද මෙය විය. ඔවුන් මුහුණ දුන් පළමු තරගයේදී බංග්ලාදේශය සමග ගෝල් 01 – 01 ක් ලෙස ද ශ‍්‍රී ලංකාව සමග ගෝල් 00 – 00 ක් ලෙස ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එමෙන්ම මාලදිවයිනට එරෙහිව ගෝල් 01 – 00 ක් ලෙස ද ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෝල් 03 – 02 ක් ලෙස ද ජයග‍්‍රහණ වාර්තා කර ගෙන සිටි නේපාලයට ඉන්දියාව හමුවේ පසුබැසීමට සිදු වීම කැපී පෙනුණි. මෙතෙක් පැවැති තරග ආශ‍්‍රිතව ප‍්‍රසාද ලකුණු පුවරුවේ වැඩිම ලකුණු සටහන් කර ගැනීමට මාලදිවයින සහ නේපාලය සමත්ව සිටී. ඒ ලකුණු 06 බැගින් ලබා ගනිමිනි.

ඉන්දියාවට පළමු ජය නේපාලයට පළමු පරාජය; දකුණු ආසියාතික  පාපන්දු  ශූරතාවලිය

ලකුණු 05 ක් ලබා ගෙන ඇති ඉන්දියාවට එහි තෙවන ස්ථානය හිමිවී ඇති අතර සිව්වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 04 කි.

එක් ප‍්‍රසාද ලකුණකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාවට මෙවර අවසන් ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදුවිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment