ඉන්දියාවට යවන්න හැදූ හක්බෙල්ලෝ රේගු දැලේ

141

 ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කළ නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් ශ‍්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පුත්තලම ප‍්‍රදේශයේ සැකකාර සමාගමක් විසින් මෙම නීති විරෝධී හක් බෙල්ලන් අඩංගු බහාලූම අපනයනය කිරීම සඳහා 2021 ජුනි මස 15 වන දින උත්සාහ කිරීමේ දී ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර දින දෙකක් පුරා සිදුකළ පරීක්ෂා කිරීම අවසානයේ දී අපනයනය තහනම් කළ හක් බෙල්ලන් 21,480 ක තොගයක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.
 
 මෙම හක් බෙල්ලන් තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
 
 වර්ෂ 2003 අංක 1298/1 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප‍්‍රකාරව පනවා ඇති හක් බෙල්ලන් පිළිබඳ ධීවර කළමනාකරණ සහ අපනයන නියෝග වලට අනුව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කරන ලද අපනයන බලපත‍්‍රයක අධිකාරිය යටතේ හැර කිසියම් තැනැත්තකු විසින් ශ‍්‍රී ලංකාවෙන් හක් බෙල්ලන් අපනයනය නොකළ යුතු බව දක්වා ඇතැයි ද සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.
 
 තවදුරටත් එම නියෝගය අනුව විෂ්කම්භය මිලි මීටර් 70 ට වඩා අඩු හක් බෙල්ලන් කිසිම තැනැත්තකු විසින් සන්තකයේ තබා ගැනීම, මිල දී ගැනීම, විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම, විකිණීම, ප‍්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම තහනම් කර තිබේ.
 
 ටර්බිනේල්ලා පයිරම් විශේෂයට අයත් වන මෙම හක් බෙල්ලන් 20,000 ක් ඉන්දියාවට අපනයනය කරන බවට මෙම අපනයනකරු රේගු ප‍්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා අපනයනකරු ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වලංගු අපනයන බලපත‍්‍රයක් ද රේගුවට ඉදිරිපත් කර තිබේ. නමුත් රේගු පරික්ෂාවේ දී සොයාගත් මුළු හක් බෙල්ලන් ප‍්‍රමාණය 33,680 ක් වන අතර ඒ අතුරින් හක් බෙල්ලන් 21,480 විෂ්කම්භය මිලි මීටර් 70 ට වඩා අඩු අපනයන තහනම් හක් බෙල්ලන් වේ.
 
 මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු ශ‍්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment