ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වනවා

720

ඔක්සිජන් ප‍්‍රතිකාර ලැබිය යුතු කොවිඞ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ රෝහල්වල ඔක්සිජන් ප‍්‍රමාණය හිඟයකින් තොරව පවත්වා ගැනීම සඳහා ඉන්දියාවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඒ අනුව පළමුව ඔක්සිජන් මෙටික්ටොන් සියයක් ඇණවුම් කර ඇති බවත් එය සතියකට පමණ ප‍්‍රමාණවත් බවත් ඇය කීවාය.

මෙම ඔක්සිජන් ඇණවුම් කර ඇත්තේ මෙරට ප‍්‍රධාන ඔක්සිජන් සැපයුම්කරු වන සිලෝන් ඔක්සිජන් සමාගම හා ඒකාබද්ධව ඉන්දියාවේ පිහිටි සමාගමෙන් බවත් සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

දේශීයව නිපදවන ඔක්සිජන් වලින් දැනට රජයේ රෝහල්වල දිනක ඔක්සිජන් සැපයුම මෙටි‍්‍රක්ටොන් 72 ක් පමණ දක්වා ඉහළ නංවා ඇති බව මේ සම්බන්ධව වැඩිදුර අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවැසීය.

මෙම අවශ්‍යතාව දිනපතා මෙටි‍්‍රක්ටොන් 5 ත් 10 ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ යන බවත් එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස ඉන්දියාවෙන් ඔක්සිජන් ඇණවුම් කළ බව සෞඛ්‍ය ලේකම්වරයා පැහැදිලි කළේය.

කොළඹ ජාතික රෝහලේ පමණක් ඔක්සිජන් ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන් 600 ක් පමණ සිටින බවත් මෙවැනි ඔක්සිජන් ලැබිය යුතු කොවිඞ් රෝගීන් ගණන දිනපතා ඉහළ යමින් පවතින බවත් ලේකම්වරයා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment