ඉන්දියාවෙන් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම වෙනුවෙන් කිසිම කොන්දේසියක් නැතැයි ඉන්දියානු සංචාරය නිමවා ලංකාවට පැමිණි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට මේ ණය මුදල ලබාදුන් බවද සාමාන්‍යයෙන් බැංකුවකින් ණයක් ගන්නා විට ඇති පොළිය සහ ණය මුදල වසර තුනකින් නැවත ගෙවීමට සිදුවී තිබෙන බවද මුදල් ඇමැතිවරයා පවසයි.
මේ ගැන කරුණු පැහැදිලිකළ මුදල් ඇමැතිවරයා මෙසේද කීවේය.
අපේ අසල්වාසි ඉන්දියාව කවදත් ලංකාව සමග ඉතාම හිතවත්ව කටයුතු කළා. නමුත් මෙවර ඊටත් වැඩිය මෝදි අගමැතිතුමා විශේෂයෙන්ම සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය හැම සහයෝගයක්ම ආර්ථික වශයෙනුත් වෙනත් සමාජයීය වශයෙනුත් වෙනත් ලෝක සංවිධානවලදිත් සෘජුව අපට උදව් කරන බවයි. අප ආරම්භ කළ කාබනික වගාව පිළිබඳවත් පුනර්ජනනීය බලශක්තිය ගැනත් අපේ ජනාධිපතිතුමා දක්වන උනන්දුව ගැනත් එතුමා විශේෂයෙන්ම හදාරල තිබුණා. ඔවුන්ටත් යම් හිඟයක් තියෙනවා කිව්වා නැනෝ පොහොර නිෂ්පාදනයේ. ඒත් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමාණය ලබාදීමට ඔවුන් එකඟ වුණා. ඒ නිසා මේ රටේ සමස්ත ගොවි ජනතාවටත් අනෙකුත් අයටත් අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට ආහාර ලබා ගැනීමට ළඟ එන සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් සියලූ අත්‍යවශ්‍ය දේවල් ලබාදීමට ඔවුන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් දුන්නා. ඒක ඊයේ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කටයුතු ඉතාම විනිවිද භාවයකින් වෙළෙඳ අමාත්‍යාංශය සිදු කිරීමට නියමිතයි. මේ හරහා ඉන්දියාවෙන් ගේන භාණ්ඩ කඩිනමින් මහජනතාවට සාධාරණ මිලකට ලබාදෙන ලෙස සියලූම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා යැයිද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත,කටුනායක ටී.කේ.ජී කපිල