ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි 35 ක කහ ටොන් 700ක් වරායේ හිර වෙලා

106

* නිදහස් කර දෙන්නැයි ආනයනකරු රජයෙන් ඉල්ලයි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වරායෙන් සිරවී ඇති භාණ්ඩ නිදහස් කරන ලෙසට පසුගියදා දැනුම් දුන්නත් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කහ ටොන් 700ක් පමණ වරායෙන් මුදා ගැනීමට මේ වන තෙක් අපොහොසත් වී ඇතැයි කහ ආනයනකුරුවෙක් ඊයේ (27වැනිදා) ‘දිවයින’ට පැවසීය.

රුපියල් කෝටි 35ක් පමණ වටිනා කහ කන්ටේනර් 38ක් පමණ මේ වන විටත් වරායේ තිබෙන බව එම ආනයනකරු ප‍්‍රකාශ කළේය. මෙම කහ තොගයෙන් කොටසකට මුදල් ගෙවා ඇති බවත්, ඉතිරි කොටසට මුදල් ගෙවීමට තිබෙන බවත් කී හෙතෙම මේ සම්බන්ධයෙන් අදාළ සියලූම ආයතන දැනුවත් කර ඇති බවත් කහ තොගය නිදහස් කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ආනයනය අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ඊයේ ‘දිවයින’ කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ වරායේ ඇති භාණ්ඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවට මේ වන විට උපදෙස් ලැබී ඇති බවත් මෙම කහ තොගය සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා කුඩා වැවිලි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත නිදහස් කිරීමෙන් පසු ආනයනකරුවන්ට ලබාගත හැකි බවත්ය.

අදාළ කහ තොගය සම්බන්ධයෙන් ආනයනකරු ආනයනය අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළහොත් ඒවා නිදහස් කිරීමට අදාළ බලපත‍්‍රයක් ශ‍්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම කහ තොගය නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව මේ පිළිබඳව ශ‍්‍රී ලංකා රේගුවෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment