ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර ලක්‍ෂ 20 ක් රේගුවේ හිර කරලා

196

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඇමැතිගෙන් දෝස්මුරයක්

බිත්තරවල ප්‍රමිතිය හා සෞඛ්‍යාරක්‍ෂිත බව සහතික කරමින් ඉන්දියාවේ සමාගමකින් බිත්තර ලක්‍ෂ 20 ක් ආනයනය කර ඇතත් ඒවා මුදාහැරීමට ප්‍රමාද කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කල්මරමින් සිටිනවා යැයි වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

රටේ පවතින බිත්තර මිල පාලනය කිරීමට බිත්තර ආනයනය කළ බවත් ආනයනය කළ එම බිත්තර බේකරි නිෂ්පාදන සඳහා පමණක් නිදහස් කර ගැනීමට උත්සාහ කළත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා බිත්තර රේගුවේ පවතින බවද ඇමැතිවරයා කීය.

කැබිනට් මණ්ඩලය ආහාර සුරක්‍ෂිතතා අනුකමිටුව ඇතුළු සියලු ස්ථානවලින් අවසර ගෙන බිත්තර ආනයනය කිරීමට කටයුතු කළත් බිත්තර තවදුරටත් රේගුවේ තබා ගැනීමට සිදුවීම ජනතාවට කරන අසාධාරණයක් බවත් ඇමැතිවරයා කීය. රජය තීරණ ගත්තත් ඇතැම් නිලධාරීන් තමන්ට අවශ්‍ය පරිදි වැඩකරන බවත් ඔවුන් සම්බන්ධයෙන් ජනතාව බලාගත යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවෙන් අල, ලූනු ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගෙන්වන බවත් එම ආහාර සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට මේ ආකාරයෙන් කල් මැරීමක් සිදුනොකරන බවත් පැවසූ ඇමැතිවරයා මේ වන විට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බිත්තර සාම්පල් ගෙන පරීක්‍ෂා කිරීම් සිදුකරන බවත් එහි වාර්තා මේ සතිය මැද වන විට ලැබෙනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment