ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ සිව් දෙනාට දෙන්න ඉන්දියාවේ සිට ගිණුම්වලට මුදල් එව්වේ මොකටද?

394

මාවනැල්ලේදී ඇල්ලූ දෙදෙනා ගැන ප්‍රශ්නාර්ථයක්

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මාවනැල්ලේදී පෙරේදා (29දා) අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

මෙම සැකකරුවන් දෙදෙනාට ඉන්දියාවේ පදිංචි එක්තරා පුද්ගලයකු මුදල් එවා ඇති අතර එම මුදල් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇති බවද හෙළිවී තිබේ.

එම සැකකරුවන් සිව්දෙනා ඉන්දියාවට යෑමට පෙර අදාළ මුදල් ඔවුන් වෙත ලබාදීමට මාවනැල්ලේදී අත්අඩංගුවට පත් වූ මෙම සැකකරුවන් කටයුතු කර තිබූ බවද අනාවරණය වී ඇත.

ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මාවනැල්ල හිඟුල්ඔය පදිංචි මොහොමඩ් මුජුබර් රහුමාන් නමැති අයෙකි. අනෙක් සැකකරු අලුත්නුවර කොටබෝගොඩ පදිංචි කල්පදීන් හිදල්දුල් බාරි නමැති අයකු බව පොලිසිය පවසයි.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් සිව්දෙනා සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයන් පස්දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ සිව් දෙනාට දෙන්න ඉන්දියාවේ සිට ගිණුම්වලට මුදල් එව්වේ මොකටද?

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් බව එම ඒකකය මඟින් හෙළි කර තිබිණ.

මොවුන් ඉන්දියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් බවද එම ඒකකය පවසයි.

එහෙත් විදේශ ඇමති අලි සබ්‍රි මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණේ මෙම පුද්ගලයන් සිව්දෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් ඔවුන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බවට මේ වනතුරුත් අනාවරණය වී නැති බවත්ය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment