ඉන්දියාවේදී ඇල්ලූ 4 දෙනා අයිඑස් කියන්න තොරතුරු නෑ

445

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සහ ඔවුන් සමග සබඳතා පැවැත් වීමේ චෝදනාවට පොලිස් භාරයට ගත් මෙරට පුද්ගලයන් හයදෙනා අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ බවට කිසිදු තොරතුරක් මේ වනතුරු අනාවරණය වී නැති බව විමර්ශන නිලධාරීහු පවසති.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ මෙම පිරිස කිසියම් කණ්ඩායමක් විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා යොදා ගැනීමට උත්සාහ කළේ ද යන්න සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීහු කියා සිටිති. මෙම සැකකරුවන් අබු නමැති පුද්ගලයකු මෙහෙය වූ බව පැවසුව ද එවැනි පුද්ගලයකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් බවට බරපතළ චොදනාවක් එරට පොලිසිය විසින් එල්ල කර තිබිණි.

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට මොවුන් පැමිණ සිටි බවද ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත් වූ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්දියාවේදී අල්ලා ගත් ශ්‍රී ලාංකිකයන් සමග සබඳතා පැවැත් වූ පුද්ගලයන් හයදෙනකු හලාවත, මාවනැල්ල, කොළඹ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත්හ.

මෙම හයදෙනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන අතර ඔවුන් අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ බවට කිසිදු තොරතුරක් මේ වනතුරුත් ලැබී නොමැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment