ඉන්දියාවේ අධික රස්නය නිසා මියයන පිරිස සියයට 55 කින් ඉහළට

243

දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වන අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයට නිරාවරණය වීමෙන් මියයන ඉන්දීය ජාතිකයන්ගේ සංඛ්‍යාව සියයට 55කින් වැඩි වී ඇති බව එංගලන්තයේ ‘ලැන්සෙට්’ වෛද්‍ය සඟරාවේ පළ කර ඇති නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම වැඩි වීමත් සමගම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල හටගෙන ඇති දරාගත නොහැකි අධික උෂ්ණත්වය සහිත කාලගුණයට නිරාවරණය වීමෙන් 2000-2004 හා 2017-2021 යන කාල සීමාවලදී මියගොස් ඇති සංඛ්‍යාව මෙසේ සියයට 55කින් වැඩි වී තිබේ.

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ගිම්හාන සමයේදී දක්නට ලැබෙන අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හෙවත් තාප තරංග (හීට් වේව්) වෙනත් වසරවලට වඩා දිගු කලක් පවතින, දරුණු හා නිතර හටගන්නා ව්‍යසනයක් බවට මේ වන විට පත්ව ඇති බව කාලගුණ විශේෂඥයෝ පවසති. මෙම අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයට නිරාවරණය වීමට සිදු වීම හේතුවෙන් 2021 වසරේදී ඉන්දීයාවේ වැඩකරන ජනතාවට සේවා පැය බිලියන 167.2ක් අහිමිව ගොස් ඇති අතර එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4 කට සමාන බව වාර්තා වී තිබේ. ලැන්සෙට් සඟරාවේ පළ කර ඇති වාර්තාවට අදාළ අධ්‍යයනය සඳහා රටවල් 103ක් යොදාගෙන ඇති අතර එයට දායක වූ පර්යේෂකයන්ට අනුව ඉකුත් මාර්තු – අප්‍රේල් කාලසීමාවේදී ඉන්දියාවේ හා පකිස්ථානයේ හටගත් අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය ඇති වීමට තිස් ගුණයකට අධික ප්‍රමාණයකින් දායක වී ඇත්තේ දේශගුණික විපර්යාසයන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment