ඉන්දියාවේ කොරෝනා වසංගතය නැවත හිස ඔසවයි

190

ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථමවරට ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා (15දා) දිනයේ 10,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පෙරේදා දිනයේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 12,213 දෙනෙකු වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව එයට පෙර දිනයේ (අඟහරුවාදා) වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සියයට 38.4ක වැඩි වීමක් පෙන්නුම් කරන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා වසංගතය නැවත හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පවසති. එරටින් අවසන් වරට දිනකදී කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි මස 26 වැනිදාය. ඊයේ (16දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 11ක් වාර්තා වී තිබේ. විශේෂයෙන්ම නවදිල්ලියෙන් හා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර, ඉකුත් කොරෝනා වසංගත සමයේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පනවා තිබූ පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම අනිවාර්යය වීමේ නීතිය මෑතකදී ඉවත් කරනු ලැබීමත් සමගම ප්‍රාන්තයේ මුම්බායි ඇතුළු නගරවල වැසියන් බොහෝ දෙනෙකු මුහුණු ආවරණ නොමැතිව පොදු ස්ථානවලට යෑමේ වැඩි වීමක් දක්නට ලැබිණි. හින්දි සිනමාවේ ප්‍රකට නළු නිළියන් කිහිපදෙනෙකුටම කොරෝනා ආසාදනය වැලඳී ඇති බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment