ඉන්දියාවේ ප්‍රාන්ත 09ක උෂ්ණත්වය සෙල්සියස්  අංශක 44ක් දක්වා ඉහළට

391

දින කිහිපයක සිට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය (තාප තරංග හෙවත් හීට්වේව්) තවත් දින කිහිපයක් පවතිනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගන්නා ගෝලීය උණුසුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය හටගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 09කට අයත් නගර 42 ක උපරිම උෂ්ණත්වය පෙරේදා (08දා) දිනයේ සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොස් තිබූ බව වාර්තා විය. රාජස්ථාන්, හරියානා, පන්ජාබ්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ්, ඔඩිෂා, ජාර්කන්ඩ්, චට්ටිස්ගාර් හා අන්ද්‍රා ප්‍රදේශ් යන ප්‍රාන්තවල පිහිටි නගර 42ක උෂ්ණත්වය මෙසේ ඉහළ ගොස් තිබූ අතර දිල්ලි නගරයේ ‘සෆ්ඩාර්ජුන්ග්’ ප්‍රදේශයේ පෙරේදා දිනයේ පැවති උපරිම උෂ්ණත්වයද සෙල්සියස් අංශක 44 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කෙසේ වුවද ඉන්දියාවේ පෙරේදා දිනයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ ‘ගංගානගර්’ හා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘බ්‍රහ්මපුරි’ යන ප්‍රදේශවලින් වන අතර එය සෙල්සියස් අංශක 46.2ක් වශයෙන් සටහන්ව තිබිණි. අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පොළව ඉරිතලා ගොස් ජල උල්පත් සිඳී ගොස් ඇති අතර වගා අස්වනු විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ. කෙසේ වුවද දකුණු ඉන්දියාවේ කේරළ, කර්ණාටක ප්‍රාන්තවලට හා ලක්ෂද්වීප් දූපත් සමූහයට ඉදිරි දින පහ පුරා ගිගුරුම් සහිත වැසි හට ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment