ඉන්දියාවේ ප‍්‍රථම ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා වේ : දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 90,000 ඉක්මවයි

127

‘ඔමික්‍රෝන්’ වෛරස් ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීම හේතුවෙන් ඉන්දියවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (06දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී 90,000 ඉක්මවා ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ ප‍්‍රථම ‘ඔමික්‍රෝන්’ ආසාදිත මරණයද එදින වාර්තා වී තිබේ. ඊයේ උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 90,928ක් වූ අතර වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 325 දෙනෙකි.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පෙරේදා (05දා) දිනයේ එරටින් වාර්තා වූ ප‍්‍රථම ‘ඔමික්‍රෝන්’ ආසාදිත මරණය රාජස්ථාන් ප‍්‍රාන්තයෙන් වාර්තා වී තිබූ අතර මියගොස් ඇත්තේ දියවැඩියාව ඇතුළු සංකූලතාවලින් පෙළෙන 74හැවිරිදි වියෙහි පසුවන අයෙකි. ඉකුත් දෙසැම්බර් 15 වැනිදා රාජස්ථාන් ප‍්‍රාන්තයේ උදයිපූර් නගරයේ රෝහලකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති මෙම පුද්ගලයා දින 15ක කාලයක් ප‍්‍රතිකාර ලැබීමෙන් පසු මියගොස් ඇති බව වෛද්‍යවරු පවසති. මියගිය අය පූර්ණ කොරෝනා එන්නත්කරණයට ලක්ව සිටි අයකු බව වාර්තා වී තිබේ. ඉන්දියාවේ පුනේ ඇතුළු ඇතැම් දිස්ත‍්‍රික්කවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදය හේතුවෙන් ඉකුත් සතියට වඩා හය ගුණයකින් වැඩි වී තිබූ අතර එරට කොරෝනා ආසාදනය පැතිරීමේ අනුපාතය ඉකුත් අපේ‍්‍රල් – මැයි මාසවලදී පැවති දෙවැනි කොරෝනා වසංගත රැුල්ල සමයේ පැවති අනුපාතයට වඩා වැඩි බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය පවසයි. ඊයේ දිනය වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබූ ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2630ක් වූ අතර සෞඛ්‍ය බලධාරීන් විසින් ඔමික්‍රෝන් ප‍්‍රභේදය පැතිරෙන වැඩි අවධානයක් යොමු කළ යුතු ප‍්‍රාන්ත ලෙස මහාරාෂ්ට‍්‍ර, බටහිර බෙංගාලය, දිල්ලිය, කේරළය, තමිල්නාඩුව, කර්ණාටක, ජර්කාන්ඞ් හා ගුජරාට් ප‍්‍රාන්ත නම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment