මරාගෙන මැරෙන බෝම්බකරු ආ හැටි පාකිස්තාන ආරක්ෂක අංශ සොයයි

251

පෙරේදා (30දා) දහවල් වයඹදිග පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 87 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. බෝම්බ පිපිරීම සිදු වූ මුස්ලිම් දේවස්ථානය පොලිස් මූලස්ථානය පිහිටි අධිආරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන අතර බෝම්බ පිපිරීම සිදුවන අවස්ථාවේ එහි පොලිස් නිලධාරීන් 300ත් 400ත් අතර සංඛ්‍යාවක් සිට ඇති බව වාර්තා වී තිබේ. ප්‍රහාරයෙන් විනාශ වී ගොස් ඇති මුස්ලිම් දේවස්ථානයේ සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බව හෙළිවීම නිසා මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස තවත් ඉහළ යනු ඇති බවට බලධාරීන් පවසා තිබේ.

මෙම බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් 20කට අධික පිරිසක් සිටින බව අනාවරණය වී ඇති අතර පිපිරීමෙන් මුස්ලිම් දේවස්ථානය දැඩි ලෙස විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දේවස්ථානයේ දහවල් යාච්ඤාව පැවැත්වෙමින් තිබී ඇති අතර අධිආරක්ෂිත කලාපයේ දැඩි ආරක්ෂක රැකවල් මැද තිබූ මෙම දේවස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බකරු ළඟා වූයේ කෙසේද යන්න පිළිබඳව පකිස්ථාන ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් අරඹා තිබේ. පෙෂාවර් නගරයේ පොලිස් මූලස්ථානය, ත්‍රස්තවාදය මැඬලීමේ ආරක්ෂක ඒකක මෙන්ම බුද්ධි අංශ කාර්යාලය පිහිටා තිබී ඇත්තේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූ දේවස්ථානය පිහිටි ප්‍රදේශය තුළය. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඊයේ (31දා) දහවල් වන විටද කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණු අතර ඇෆ්ගනිස්ථාන් තලිබාන් සංවිධානයෙන් බිඳී ගිය පකිස්ථාන තලිබාන් සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටින බවට බලධාරීන් විසින් සැක කළද එම සංවිධානය විසින් ප්‍රහාරයට ඔවුන් සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කර තිබේ. පකිස්ථාන අගමැති ශෙබාස් ෂරිෆ් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති අතර ඊයේ දිනය එරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment