ඉන්දියාවේ වගා ළිඳකට වැටුණු දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

305

ඉන්දියාවේ අඩි 400 ක් ගැඹුරැති අත්හරින ලද වගා ළිඳක අඩි 55ක් ගැඹුරට වැටී සිර වී සිටින දරුවා එසේ ළිඳට වැටී පැය 60කට අධික කාලයක් ගත වෙද්දීත් ඔහුව බේරා ගැනීම සඳහා සිදු කරන මෙහෙයුම සාර්ථක කරගැනීමට නිලධාරීන් හට නොහැකි වී ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙටුල් දිස්ත්‍රික්කයේ මාන්ඩවී ගම්මානයේ පිහිටි වගා ළිඳකට වැටී එහි අඩි 55ක් ගැඹුරින් පිහිටි කොටසක සිර වී සිටින අට හැවිරිදි ටැන්මේ සාහු ඊයේ (09දා) වන විට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයක පසු වූ බව වාර්තා වී තිබිණි.

මෙම දරුවා තවත් ළමුන් පිරිසක් සමග සෙල්ලම් කරමින් සිටියදී වගා ළිඳට වැටී තිබුණේ ඉකුත් අඟහරුවාදා සවස 5 ට බව ඉන්දීය මාධ්‍ය පවසයි. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආපදා ප්‍රතිචාර බළකායේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක භටයන් හා පොලිස් නිලධාරීන් එක්ව මෙම දරුවා මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. මෙහෙයුමේ නිරතව සිටින නිලධාරීන්ට අනුව දරුවා වැටී සිටින වගා ළිඳේ අඩි 45ක් පමණ ගැඹුරට ගමන් කර අනතුරුව දරුවා සිටින කොටසට යෑම සඳහා උමගක් කැණීම ඔවුන්ගේ සැලසුම වී ඇති අතර එම කොටසෙහි ඝන ගල් පැවතීම හේතුවෙන් එම කාර්යය සඳහා තරමක කාලයක් ගත වේ. ටැන්මේ සාහු දරුවා ළිඳට වැටුණු අවස්ථාවේ පිටත සිටි පුද්ගලයන්ට ප්‍රතිචාර දක්වා තිබුණද දැන් එසේ නොකරනුයේ ඔහු සිහිසුන් තත්ත්වයේ පසුවන නිසා විය හැකි බව එම නිලධාරීහු පවසති. මෙම දරුවාට ආශ්වාස කිරීම සඳහා බටයක් මාර්ගයෙන් ඔක්සිජන් ලබා දීමට පියවර ගෙන තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment