ඉන්දියාවේ විශාල ප්‍රදේශයක උෂ්ණත්වය දරුණු ලෙස ඉහළට…මිලියන ගණනකට පීඩා

411

ඉන්දියාවේ විශාල භූමි ප්‍රදේශයක් පුරා හටගෙන ඇති දරුණු උණුසුම් කාලගුණ තත්ත්වය (තාප තරංග – හීට් වේව්) හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් මෙම දිනවල දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තා වී තිබේ. රටෙන් වැඩි කොටසක උෂ්ණත්වය පෙරේදා (27 දා) සිට දරුණු ලෙස ඉහළ යමින් පැවතීම හේතුවෙන් සෑම තරාතිරමකම ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර ඉන්දියාවේ තිරිඟු අස්වැන්න විනාශ වන තත්ත්වයක් උද්ගතව තිබේ.

දිල්ලි නගරය ඇතුළු නගර ගණනාවක උෂ්ණත්වය පෙරේදා (27දා) දිනයේ සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොස් තිබූ අතර ඉන්දියාවේ උතුරු හා මධ්‍යම ප්‍රදේශවල උෂ්ණත්වය ඉදිරි දිනවලදී සෙල්සියස් අංශක 48ක් හෙවත් ෆැරන්හයිට් අංශක 120ක් දක්වා ඉහළ යෑමේ අවදානමක් ඇති බවට දැනටමත් ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ. ෆැරන්හයිට් අංශක 120 ක උෂ්ණත්වයක් පවතින විට මිනිසුන්ගේ සමෙහි පිළිස්සුම් තුවාල හටගැනීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය මතය වී තිබේ. ඉදිරි දින පහක කාලය තුළ අසාමාන්‍ය ලෙස ඉන්දියාවේ ප්‍රාන්ත 15ක පමණ උෂ්ණත්වය දරුණු ලෙස ඉහළ යනු ඇති බවට මේ වන විට කාලගුණ අනාවැකි පළ වී ඇති අතර වෙනත් වසරවලට වඩා බොහෝ පෙරාතුව මෙවර රටේ උෂ්ණත්වය ඉහළ යෑමට පටන් ගෙන ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් ඉන්දීය ප්‍රාන්ත මහ ඇමැතිවරුන් හමුවේ පෙරේදා පවසා තිබේ. ඉන්දියාවේ සාමාන්‍යයෙන් අධික උෂ්ණත්වයක් සහිත කාලගුණ තත්ත්වයක් ඇති වනුයේ මැයි – ජුනි අතර කාලයේ දීය. එහෙත් මෙවර කලින්ම උෂ්ණත්වය ඉහළ යෑමට පටන් ගෙන ඇත්තේ දේශගුණික විපර්යාසය හේතුවෙන් හට ගන්නා ගෝලීය උණුසුම හේතුවෙන් බව අගමැති මෝඩි සඳහන් කර තිබේ. උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම නිසා ගිනි අනතුරු සිදු වීමේ දැඩි අවදානමක් පැන නැඟී ඇති බවද අගමැතිවරයා පවසා තිබේ. මේ අතර පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ඉන්දීය ප්‍රාන්තවල විදුලිය කප්පාදු කිරීම වැඩිවන තත්ත්වයක් පවතින බව වාර්තා වේ. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ තිරිඟු අස්වැන්නට හානි පැමිණියහොත් ලෝක තිරිඟු සැපයුම අඩුවීමට හේතු වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment