ඉන්දියාවේ සිටින  ශ්‍රී ලාංකික සරණාගතයන් යළි ගෙන්වා ගැනීම පහසු කිරීමට කමිටුවක්

104

යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු කර, කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති එම කමිටුව ආගමන විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වේ.

යුද්ධය හේතුවෙන් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ‘ඊළාම් සරණාගතයන් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ’ ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05දා) පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹිණි.

ශ්‍රී ලාංකිකයන් 58,000ක් පමණ මේ වන විට සරණාගතයන් ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටින අතර එම පිරිස අතරින් 3800ක් පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සූදානමින් සිටින බව එහිදී සඳහන් විය. මේ වෙනුවෙන් අවශ්‍ය කටයුතු චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය මගින් සම්පාදනය කිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, අධිකරණ අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හා ඊළාම් සරණාගතයන් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ (OFERR)  සී. එස්. චන්ද්‍රහසන්, එස්. සූරියකුමාරී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment