ඉන්දියාව අඩුම පන්දුවාර සංඛ්‍යාවට දැවේ

560

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් තම රට තුළදී අඩුම පන්දුවාර සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථාව සනිටුහන් කරමින් ඔස්ටේ්‍රලියාවට එරෙහිව ඊයේ (01 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී පන්දු වාර 33 යි පන්දු දෙකක් තුළදී සියලු ඉන්දීය පිතිකරුවෝ දැවී ගියහ.

එහිදී ඉන්දියාව රැස් කළ ලකුණු 109 ඔවුන් ඉන්දියාව තුළ දී වාර්තා කරන ලද 6 වෙනි අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

මීට පෙර ඉන්දීය කණ්ඩායමක් ඉන්දියාව තුළ දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ 2004 වසරේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ලකුණු 104කට දැවී යෑමයි. එම තරගයේදී ඉන්දීය පිතිකරුවෝ පන්දු වාර 41ක් ක්‍රීඩා කර තිබූ අතර මීට පෙර ඉන්දීය කණ්ඩායම අඩුම පන්දු වාර සංඛ්‍යාවකට දැවී ගොස් තිබුණේ 2017 වසරේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව පූනේ හිදී පන්දු වාර 33යි පන්දු 5කට සියලු දෙනා දැවී යෑමයි. ඊයේ තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ විරාත් කෝලි ලකුණු 22 ක් ලබාගත් අතර ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් එම්. කූනමන් කඩුලු 5ක් සහ නේදන් ලයන් කඩුලු 3ක් දවාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියාව දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් රැස් කර ඉන්දියාවට වඩා ලකුණු 47ක් ඉදිරියෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment