ඉන්දියාව දෙවැනි පොහොර  තොගයත් ලංකාවට භාරදෙයි

71

ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන පොහොර තොගයේ දෙවැනි පොහොර තොගයද ඊයේ (22දා) ශ්‍රී ලංකාවට භාරදීම සිදුවිය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 65,000 ක් මෙරටට ලබාදීමට ඉන්දියාව පොරොන්දුවී, මීට පෙර ඉන් යූරියා මෙටි්‍රක් ටොන් 44,000 ක් ලබාදුන් අතර ඉතිරි පොහොර තොගය වූ මෙටි්‍රක් ටොන් 21,000 ඊයේ මෙරටට ලබා දුන්නේය.

මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට භාරදෙන ලදී.

මීට පෙර ගෙන්වූ යූරියා ප්‍රමාණයෙන් සියයට 98ක් මෙවර යල කන්නය සඳහා බෙදාහැර තිබෙන අතර ඉතිරි සියයට දෙක ඉදිරි දිනවල බෙදා දීමට නියමිතය.

මෙහිදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉන්දියාවෙන් ලැබුණු මෙම පොහොර තත්ත්වයෙන් උසස් බවත් පොහොර බෙදාදීම විනිවිද භාවයෙන් සිදුකරන අතර එම නිසා පොහොර ගනුදෙනුවලදී කාටවත් වංචා කිරීමට ඉඩක් නොමැති බවත්ය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවට අසල්වැසි හිතවතා වශයෙන් ලබාදිය හැකි සියලු සහයෝග ලබාදීමට කටයුතු කරන බවය. මෙම යූරියා පොහොර ලබාදීමට හැකිවීම ගැන සැබෑවටම තමන්ට සතුටක් ඇති බවත් ඉන්දීය රජය හා ජනතාව සෑම විටම ශ්‍රී ලංකා රජය සමග කටයුතු කරන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්ව

advertistmentadvertistment
advertistmentadvertistment