ඉන්දියාව නීතියට පටහැනිව ඉදි කළ දැවැන්ත ගොඩනැඟිලි දෙකක් පුපුරවා හැරීමට යයි

776

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත ගොඩනැගිලි ඉදිකිරීමේ හා පාරිසරික ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ වරදට ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයට යාබද ‘නොයිඩා’ ප්‍රදේශයේ ඉදි කර ඇති උසැති නිවුන් කුලුනු දෙකක් හෙට (29දා) සවස පුපුරවා විනාශ කර දැමීමට බලධාරීන් විසින් කටයුතු යොදා තිබේ. සුපර් ටෙක් නමැති පුද්ගලික ගොඩනැගිලි ඉදි කිරීම් සමාගම විසින් ‘ඇපෙක්ස්’ හා ‘සියේන්’ යනුවෙන් නම් කර ඇති මෙම අඩි 320කට (මීටර් 97 ක්) වඩා උසැති තට්ටු 30කින් සමන්විත වන නිවුන් කුලුනු දෙක ඉරිදා සවස ආරක්ෂිත අයුරින් කිලෝ ග්‍රෑම් 3700කට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් යොදවාගෙන පුපුරවා හැරීමට නියමිතව තිබේ.

රටවල් තුනකට අයත් ඉතා උසස් කුසලතා සහිත ඉංජිනේරුවරුන් පිරිසක් විසින් මෙම ගොඩනැගිලි කුලුනු දෙක පුපුරවා හැරීමට නියමිතව ඇති අතර මෙම පුපුරවා හැරීම සිදු කිරීමට පෙර එම ගොඩනැගිලි දෙක අවට පිහිටි නිවාස

ගොඩනැගිලිවල වෙසෙන පුද්ගලයන් හා සුරතල් සතුන් ඉරිදා උදෑසන වන විට අදාළ ගොඩනැගිලිවලින් තාවකාලිකව ඉවත් කිරීමට බලධාරීන් විසින් කටයුතු යොදා තිබේ. මෙම පිපිරවීමේ කර්තව්‍යයේ බැරෑරුම්කම පිළිබඳව අදහස් දක්වා ඇති එම කාර්යයට එක් වන ඉංජිනේරුවරයෙකු පවසා ඇත්තේ මෙය ඉංජිනේරු ශිල්පයේ අලංකාරත්වය පෙන්නුම් කරනු ලබන අවස්ථාවක් බවයි . ඉන්දියාවේ පුපුරවා හරිනු ලබන විශාලතම

ගොඩනැගිලි කුලුනු වනුයේද මෙම නිවුන් කුලුනු වන අතර මෙම ඉරිදා සවස මෙම දැවැන්ත කුලුනු දෙක පුපුරවා හැරීම සුවිශේෂී වනුයේ මෙවැනි ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටි ගොඩනැගිලි මෙසේ පුපුරවා හැරීම ලොව පුරා ඉතාමත් විරල හා පහසුවෙන් අවසර ලබා නොදෙන පිපිරවීමක් වන නිසාය. මෙම දැවැන්ත පිපිරවීමට පෙර අදාළ ගොඩනැගිලි කුලුනු වටා පිහිටි පුද්ගලයන් 7000ක් පමණ දෙනා වාසය කරන නිවාස ගොඩනැගිලි 45ක හා තවත් තට්ටු 12කින් සමන්විත ගොඩනැගිල්ලක සිටින සියලු නිවැසියන් හා සතුන් පිපිරවීමට පෙර එම ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට නියමිතව ඇති අතර ඔවුනට නැවත සිය වාසස්ථාන කරා පැමිණීමට අවසරය ලැබෙනුයේ පිපිරවීම සිදු කර පැය පහක පමණ කාලයක් ගත වූ පසුව බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම පුපුරවා හැරීම සඳහා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිත වන නිසා ඒ හරහා යාබද දිල්ලි නගරයේ දැනට පවතින අධික පරිසර දූෂණය තවත් ඉහළ යනු ඇති බවට මේ වන විට මත පළ වී තිබේ.

වැඩි දෙනෙකුගේ අවධානය යොමුව ඇති මෙම ගොඩනැගිලි පිපිරවීමෙන් පසු අඩි 984ක් පමණ උසැති දැවැන්ත දූවිලි වලාකුළක් අහසට විහිදෙනු ඇති බවට හා ටොන් 30,000 ක සුන්බුන් තොගයක් ගොඩගැසෙනු ඇති බවට විශේෂඥයන් විසින් මේ වන විට අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment