ඉන්දියාව සහ පාකිස්තානය විරසක කළ කාශ්මීර ප්‍රශ්නය

236

පකිස්තානය ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි අපහසුතාවට පත් කළ සිදුවීමක් පසුගිය දින සිදු වූ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. කාශ්මීර ප්‍රශ්නය අමතක කර ඉන්දියාව සමඟ මිත්‍රශීලී ලෙසට කටයුතු කරන ලෙසට පාකිස්තානයේ සමීප මිත්‍ර රටවල් දෙකක් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්තානයෙන් ඉල්ලා සිටීම එම සිද්ධියයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි ජම්මු කාශ්මීර ප්‍රදේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් අනවශ්‍ය අයැද සිටීම් නවත්වන ලෙසට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්තානයට උපදෙස් ලබා දී ඇත.

ඉන්දියාව ජම්මු කාශ්මීරයට තිබූ හිමිකම ඉවත් කිරීම

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් 60% ක් වෙසෙන අදාළ ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී තිබිණි. ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපණය කරනු ලබන්නේ ද අදාළ වගන්තිය මගිනි.

අදාළ වගන්තිය අනුව ඉන්දීය පාලිත කාශ්මීරයට යම් ස්වයං පාලන බලතල දී ඇත. ඒ අනුව වෙනම ව්‍යවස්ථාවක්, ධජයක් වැනි බලතල තිබිණි. නමුත් විදේශ කටයුතු, ආරක්ෂාව සහ තොරතුරු හුවමාරුව වැනි ක්ෂේත්‍ර ඉන්දියානු පාලනය යටතේ පැවතිණි. 2019 වර්ෂයේ දී අගෝස්තු මස ඉන්දියාව ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර සිටම, ඉන්දීය පාලන කාශ්මීරයේ දුරකථන සබඳතා සහ අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබිණි.

එසේම අයුතු ජන රාශි තහනම් කළේය. ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් එම කලාපයේ ස්ථානගත කරන ලදී. මේ අතර කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දී තිබූ වගන්තිය ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීන්දුව නීති විරෝධී බව කියා සිටි පාකිස්තානය, ඊට වීරෝධය දැක්වීම සඳහා ගත හැකි සියලුම විකල්ප මාර්ග වෙත යොමු වන බව දන්වා සිටියේය. අනතුරුව ඉන්දියාව සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අවම කළ අතර වෙළෙඳ කටයුතු නවතා දමන ලදී.

පාකිස්තානය ගත් තීරණය පිළිබඳව තමන් කනගාටු වන බව පවසන ඉන්දියාව 370 වෙනි වගන්තිය පිළිබඳ කරුණ තම අභ්‍යන්තර ගැටලුවක් බව කියා සිටී. එය තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ප්‍රතිපාදනයක් බවත් එවැනි අභ්‍යන්තර ගැටලුවක් සම්බන්ධයෙන් පාකිස්තානය ප්‍රතිචාර දැක්වීම අනවශ්‍ය කාරණයක් බව ඉන්දියාවේ ස්ථාවරයයි. කාශ්මීර කලාපය කුමන රට සමග එකතු විය යුතු ද යන කරුණ සම්බන්ධයෙන් එහි ජනතාව තුළ දැඩිව එල්බ ගත් විවිධ මත ඇත. ආගම ඊට පාදක වන එක් හේතුවක් ලෙස සැලකේ. ජම්මු සහ කාශ්මීරය ප්‍රදේශයේ 60% ක් පමණ මුස්ලිම් ජනයා වාසය කරයි. ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් සහිත එකම ප්‍රාන්තය ජම්මු සහ කාශ්මීරය වේ.

මෙවැනි පසුබිමක් සහිත ජම්මු කාශ්මීර අර්බුදය අමතක කොට ඉන්දියාව සමග සුහදශීලී ලෙසට කටයුතු කරන ලෙසට ප්‍රබල අරාබි රාජ්‍යන් පාකිස්තානයෙන් ඉල්ලා සිටීම එහි රාජ්‍ය ප්‍රතිපත්ති වලට සිදු කරන සෘජු බලපෑමකි. පාකිස්තානය මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ඊට අමතරව ගංවතුර වැනි ස්වාභාවික ව්‍යසන වලින් දැඩිව බලපෑම් එල්ල වී ඇත. එවන් රාජ්‍යයක් අනවශ්‍ය ලෙසට ප්‍රබල ඉන්දියාව සමග ගැටුම් ඇති කරගැනීම නිෂ්ඵල කාර්යයක් බව සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් අවබෝධ කරගෙන ඇති බව නොඅනුමානය.

ජම්මු සහ කාශ්මීරය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීමට අවශ්‍ය පහසුකම් සපයන වේදිකාව සකසන ලෙසට පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයෙන් ඉල්ලා ඇති පසුබැසීමක මෙම සිද්ධිය සිදු වී ඇත.

ෂරීෆ්ගේ ප්‍රකාශය පිළිබඳව ඉන්දීය බලධාරීන් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයේ සෙවණැලි යටතේ පකිස්තානය සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. සෞදි අරාබිය ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ වඩාත්ම බලගතුම රාජ්‍යයකි. ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී කටයුතු කරන ලෙසට එවැනි රාජ්‍යයක් පාකිස්තානයෙන් ඉල්ලා සිටීම පාකිස්තානය සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලනය තුළ විශාල පසුබෑමක් අත්කර දීමකි.

ලොව ප්‍රබල මුස්ලිම් රටවල් වලින් සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයක් වන ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය වෙත පාකිස්තානය දිගින් දිගටම කාශ්මීර ප්‍රශ්නය ඉදිරිපත් කරමින් සිටි අතර පසුගිය දින එහි ප්‍රබල රාජ්‍යන් දෙකක් විසින් ඉන්දියාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මතවාදය පාකිස්තානයට එල්ල කළ ප්‍රබල කනේ පහරකි. මෙය සිදු වන්නේ කාශ්මීරය වැනි කැපී පෙනෙන ගැටලු විසඳීම සඳහා දෙරට අතර සාකච්ඡා පැවැත්වීමට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මීට සති දෙකකට පෙර කළ ඉල්ලීමෙන් දින කිහිපයකට පසුවය.

පසුගිය දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් අරාබියා ප්‍රවෘත්ති නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෂරීෆ් කියා සිටියේ ඉන්දියාව සමඟ යුද්ධ තුනකින් පසු පාකිස්තානය පාඩම් ඉගෙන ගෙන ඇති බවත් දැන් ඉන්දියාව සමඟ සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය බවත්, අපට අපගේ සැබෑ ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බවත්ය.

“ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ඉදිරිපත් කරන මගේ පණිවිඩය වන්නේ දිනෙන් දින උග්‍ර ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වන කාශ්මීරය වැනි අපගේ දැවෙන ප්‍රශ්න විසඳීමට අපි එකට සාකච්ඡා මේසයේ වාඩි වී අවංකව සාකච්ඡා වල නිරත වෙමු යන්නයි,“ ෂරීෆ් පැවසීය. කෙසේවෙතත් පසුව, පකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව 2019 ක්‍රියාමාර්ගය අවලංගු නොකර සාකච්ඡා කළ නොහැකි බවයි. පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් 2019 පෙබරවාරි මාසයේදී පකිස්තානයේ බලකොට් හි ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්තවාදී පුහුණු කඳවුරකට ඉන්දීය යුද ගුවන් යානා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර සබඳතා දැඩි ලෙස අයහපත් තත්ත්වයට පත් විය.

2019 අගෝස්තු මාසයේදී ඉන්දියාව ජම්මු සහ කාශ්මීරයේ විශේෂ බලතල ඉවත් කර ගැනීම සහ පැරණි ප්‍රාන්තය යූනියන් ප්‍රදේශ බවට බෙදීම නිවේදනය කිරීමෙන් පසුව සබඳතා තවදුරටත් පිරිහී ගියේය. ජම්මු සහ කාශ්මීරය සදාකාලිකව රටේ අවියෝජනීය කොටසක් ලෙස පවතින බව ඉන්දියාව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, පාකිස්තානය කාශ්මීර ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිමය ස්ථාවරයෙන් පසුබැසීම ප්‍රතික්ෂේප කරයි.

2019 අගෝස්තු 5 වන දින ජම්මු සහ කාශ්මීරයේ විශේෂ තත්ත්වය ඉවත් කර එය යූනියන් ප්‍රදේශ දෙකකට බෙදීමට ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට පාකිස්තානය අසාර්ථක උත්සාහයක යෙදී සිටී. 370 ව්‍යවස්ථාව ඉවත් කිරීම තම අභ්‍යන්තර කාරණයක් බව ඉන්දියාව නිශ්චිතවම ජාත්‍යන්තර ප්‍රජාවට පවසා තිබේ. යථාර්ථය පිළිගෙන සියලු ඉන්දීය විරෝධී ප්‍රචාර නතර කරන ලෙස පාකිස්තානයට ද උපදෙස් දී තිබේ.

කාශ්මීරයේ ඉන්දීය පාලිත ප්‍රදේශයේ ගැටුම් වලට හේතු?

1947 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව සමග එකතු වීමට කාශ්මීර පාලකයා තීරණය කළේ, පාකිස්තාන ජන කොටස් වලින් සිදු වන ආක්‍රමණ වළක්වාලීමට, ඉන්දියාව දුන් සහයෝගයට ප්‍රති උපකාරයක් වශයෙනි.

ඉන්දීය පාලනයට එරෙහිව ඉන්දීය පාලිත කලාපය තුළ වසර තිහක් පුරා ආයුද සන්නද්ධ කැරැල්ලක් පවතී. ඒ හේතුවෙන් දහස් ගණනක් මිය ගොස් ඇත. කාශ්මීරයේ සිටින බෙදුම්වාදී කැරලිකරුවන් ට පාකිස්තානයේ සහාය ලැබෙන බව ට ඉන්දියාව චෝදනා කරයි. එය කලාපයේ සාමයට පමණක් නොව ලෝක සාමයට ද තර්ජනයක් බව ඉන්දියාවේ ස්ථාවරයයි. පකිස්ථානය පදනම් කරගත් ලෂ්කරේ තයිබා නොහොත් පිවිතුරු සොල්දාදුවන් නමැති ත්‍රස්ත කණ්ඩායම දශක දෙකකට පෙර ඉන්දීය පාලිත කාශ්මීරයේ සහ ඉන්දියාව තුළ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ප්‍රසිද්ධියට පත් විය. මෙම කණ්ඩායම 2001 වර්ෂයේ දෙසැම්බර් ඉන්දීය පාර්ලිමේන්තුවට ආයුධ සන්නද්ධව ප්‍රහාරයක් එල්ල කළ අතර එය ඉන්දියාව සහ පාකිස්තානය අතර යුදමය තත්ත්වයට ගෙන ආ බවට ඉන්දියාව චෝදනා කරයි.

කණ්ඩායමේ තුවක්කුකරුවන් දස දෙනකු 2008 දී මුම්බායි වෙත ප්‍රහාර එල්ල කළ අතර, මුම්බායි හි සුඛෝපභෝගී හෝටල් දෙකකට, දුම්රිය ස්ථානයක්, රෝහලකට, යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානයකට සහ තවත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළහ.

නීතිඥ ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment