ඉන්දීය ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස  තරගාවලියේ ජය කලින්ම වෙන්කර ගනිති – දෙරට අතර අවසන් තරගය අද

157

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාණ්ඩායම අතර ක්‍රියාත්මක තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පස්වරු 2.00ට ආරම්භ වේ.

දෙරට අතර පැවැති පළමු තරග දෙකම ජය ගනිමින් මේ වන විටත් 2-0ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වී සිටී. ඒ අනුව තරගාවලිය පරාජයට පත්වුවද සිය ගෞරවය රැක ගනිමින් තරගාවලිය අවසන් කර ගැනීමට නම් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය කරුණක් වී තිබේ.

පෙරේදා (25 වැනිදා) පැවැති දෙවැනි තරගයේදී කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සංචාරක කණ්ඩායමට හැකියාව ලැබිණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 125ක ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ පන්දු වාර 19.1කදී 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වූහ.

ශ්‍රී ලංකා පළමු කඩුල්ලට වාර්තාගත ලකුණු සම්බන්ධතාවයක් ගොඩනැඟීමට චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත්වූවාය. පන්දු වාර 13යි පන්දු 5ක් පුරා දිගහරුණු ලකුණු 87ක එම සබඳතාවය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් වාර්තා පොතට එක්විය.

චමරි අතපත්තු ලකුණු 43ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න ලකුණු 45ක් වාර්තා කළේය.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මන්ධනා ලකුණු 39ක් සහ හර්මන්ප්‍රීට් කෟර් නොදැවී ලකුණු 31ක්  රැස් කළේය.

ඕෂදී රණසිංහ සහ ඉනෝකා රණවීර ඉන්දීය ඉනිමේ කඩුලු 2ක බැගින් බිඳ හෙළුවාය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 7කට ලකුණු 125 (විශ්මි ගුණරත්න 45, චමරි අතපත්තු 43, හර්ෂිතා සමරවික්‍රම 09, දීප්ති ෂර්මා 34/2)

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු වාර 19.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 127යි (මන්ධනා 39, හර්මන්ප්‍රීට් කෟර් (නොදැවී) 3, ඕෂදී රණසිංහ 32/2, ඉනෝකා රණවීර 18/2)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment