ඉන්දීය කෘෂි ආර්ථික විප්ලවය

353

2030 වර්ෂය වනවිට ඉන්දියානු ආර්ථිකය ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වීමට නියමිත බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළකරති.

එවන් ඉලක්කයක් පෙරදැරි කරගෙන ඉන්දියාව ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී ඉන්දීය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට හිමි වන්නේ ඉතා වැදගත්
ස්ථානයකි.

වර්ෂ 2021 සිට 2022 අතර කාලයේදී ඉන්දීය ආර්ථිකයේ සමස්ත වටිනාකමෙන් කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත අංශයේ දායකත්වය සියයට 18.8 කට ආසන්න ප්‍රමාණයක් විය.

ලෝක බැංකුව විසින් සම්පාදනය කරන ලද ප්‍රගති සමාලෝචන වාර්තාවකට අනුව 2020 වර්ෂය වනවිට ඉන්දියානු කෘෂිකාර්මික අංශයේ රැකියා අනුපාතය සියයට 41.5 ක් ලෙසට ගණන් බලා ඇත.

කෘෂි දේශගුණික කලාප 15 වැඩසටහන

කෘෂිකාර්මික පර්යේෂණ සඳහා වූ ඉන්දියානු කවුන්සිලයට අනුව, ඉන්දියාව කෘෂි-දේශගුණික කලාප 15 කට බෙදා එම කලාප තුළ විශාල වගා සංග්‍රාම ව්‍යාපෘති ආරම්භ කර ඇත. උදාහරණයක් ලෙසට බටහිර හිමාලය කලාපය තුළ එම ප්‍රදේශවල දේශගුණික කාලයන්ට අනුකූල වන ආකාරයට වගා කටයුතු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව මෙම කලාපයේ පහළ නිම්න බිම්වල සහල් වගා කරන අතර කඳුකර ප්‍රදේශවල ගිම්හාන සමයේදී බඩ ඉරිඟු වගා කරයි. ශීත ඍතුවේ වගා කරන භෝග වන්නේ බාර්ලි, ඕට්ස් සහ තිරිඟු ය. මීට අමතරව මෙම කලාපය තුළ ඇපල් වතු සහ පීච්, ඇප්රිකොට් ඇට, පෙයාර්ස්, චෙරි, ආමන්ඩ් වැනි සෞම්‍ය කලාපයේ වැවෙන පලතුරු වගාවද සරුවට සිදු කරයි.

ප්‍රදේශයේ ඇති තණබිම්වල බැටළුවන්, එළුවන්, ගවයන් සහ අශ්වයන් ඇති දැඩි කිරීම සිදු කරයි. මෙයින් අපට පැහැදිලි වන්නේ ඉන්දියාව කෘෂි දේශගුණික කලාප වෙන්කොට ඉන් ආර්ථිකයට උපරිම දායකත්වයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

එමගින් විශාල වශයෙන් වගා කළ හැකි ඉඩම්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට ජාතික සැලසුමක් අනුව කටයුතු සිදු කරන ආකාරය දැකගත හැකිය. විවිධ පාංශු වර්ග, කාලගුණ රටා සහ භෝග වගා කිරීමේ හැකියාව ඇති දේශගුණික කලාප මෙමගින් හඳුනා ගෙන ඇත.

ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛම තැනට

ඉන්දියාව මේ වනවිට ලොව ප්‍රමුඛතම කිරි, කුළුබඩු, ධාන්‍ය වර්ග නිෂ්පාදකයා වන අතර සහල්, තිරිඟු, තේ, පලතුරු, එළවළු, උක් සහ කපු නිෂ්පාදනය අතින් ලෝකයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාව එළවළු අතර අර්තාපල්, ළුෑණු, තක්කාලි, බණ්ඩක්කා, වම්බටු, ගෝවා සහ වට්ටක්කා විශාලතම නිෂ්පාදක රට බවට පත්ව ඇත.

මේ ආකාරයට මහා පරිමාණයෙන් කෘෂි භාණ්ඩ නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛ රටක් බවට ඉන්දියාව පත්වීම මහා පරිශ්‍රමයක ප්‍රතිපලයකි. දියුණු කෘෂි දැණුම, නව පර්යේෂණ, පොහොර භාවිතය, ස්වභාවික විපත් කළමනාකරණය, යටිතල පහසුකම් දියුණු කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණදීම ආදි ක්‍රියාදාමයන් රැසක ප්‍රතිපලයක් ලෙසට මෙම ජයග්‍රහණ ළගා කර ගෙන ඇත.

ඉන්දියානු කෘෂි කර්මාන්තයේ නිරත ගොවීන් මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා රජය සහ අනෙකුත් සංවිධාන කටයුතු කරමින් සිටී. ඒ අනුව, පරිසරය සුරකින සහ ස්වභාවික සම්පත් රැකගනිමින් තිරසාර සංවර්ධන මූලධර්ම අනුගමනය කරමින් කෘෂි කර්මාන්තයට ඵලදායී විසඳුම් ගෙන ඒම මේ මගින් අපේක්ෂා කරනු ලබයි. විශේෂයෙන්ම පර්යේෂණ කටයුතු සහ නව කෘෂිකාර්මික තාක්ෂණයන් සඳහා රජයේ මුලපිරීම් සහ පෞද්ගලික අංශයේ ආයෝජන ඒ සඳහා ලබා ගැනීම හේතුවෙන් ඉන්දියාවේ කෘෂිකර්මාන්තයේ මුහුණුවර වෙනස් වෙමින් පවතී. කෘෂි අංශයට සම්බන්ධ නව ව්‍යවසායකයන් නව තාක්‍ෂණය හා දැනුම සමඟ ඒකාබද්ධ වෙමින් ඉන්දියානු කෘෂිකර්මාන්තය ප්‍රතිනිර්මාණය කරමින් සිටී. මෙම ක්‍රියාමාර්ග ඉන්දියාවේ කෘෂිකර්මාන්තයට ඇති අභියෝග ආපසු හැරවීමට ගත් කැපී පෙනෙන උත්සාහයන් වේ.

කෘෂි කර්මාන්තය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධන වේගය 2021 දී සියයට 3.9 කින් වැඩි වී ඇත. 2025 වන විට ඉන්දියානු කෘෂිකාර්මික අංශය ඩොලර් බිලියන 24 දක්වා වර්ධනය වනු ඇති බවට සමීක්ෂණ වාර්තා මත ඉදිරිපත් කර ඇත. ඇස්තමේන්තු වාර්තා වලට අනුව 2021-2022 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ආහාර ධාන්‍ය මෙටි්‍රක් ටොන් 316.06ක් නිෂ්පාදනය කරනු ඇති බවට පුරෝකතනය කරයි. ආයෝජන, සංවර්ධන,

කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කරන පරිදි 2020 වර්ෂයේ සිට 2022 වර්ෂයේ මාර්තු දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන

2.55 ක පමණ විදේශ සෘජු ආයෝජන ගලා ඒම ඉන්දියානු ආහාර සැකසුම් අංශයට ආකර්ෂණීය වාතාවරණයක් උදාකර ඇති බවයි.

කෘෂි කර්මාන්තයට ඩ්‍රෝන යානා තාක්ෂණය

කෘෂිකාර්මික නව විප්ලවයක් සඳහා ඉන්දියානු රජය විසින් නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් සිටී. කෘෂි ඉඩම් ඩිජිටල්කරණය සහ ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සහ පළිබෝධනාශක ඉසීම සඳහා ඩ්‍රෝන යානා හඳුන්වාදීම මේ වනවිට සිදුවෙමින් පවතී.

ඉන්දියාවට 2017 සහ 2020 අතර කෘෂි තාක්‍ෂණ අරමුදල් වශයෙන් ඩොලර් බිලියන 1ක් පමණ ලැබිණි. ඉන්දියාව තුළ කෘෂි තාක්ෂණික ව්‍යවසායකයන්ට අදාළව 2025 වර්ෂය වනවිට ඩොලර් බිලියන 30 ක පමණ ආයෝජන ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. වැඩිදියුණු කරන ලද භෝග බීජ, නව සත්ව අභිජනන සහ පශු සම්පත් සහ මත්ස්‍ය ප්‍රභේද, සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සම්බන්ධයෙන් නව තාක්‍ෂණය ගොවීන් වෙත ළඟාකර දීම සහතික කිරීම සඳහා, දිස්ත්‍රික් මට්ටමින් හා රටපුරා කෘෂි විද්‍යා කේන්ද්‍ර 729 ක ජාලයක් මේ වනවිට ඉන්දියාව පුරා පිහිටුවා ඇත.

Digital Agriculture Project

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 2021 සැප්තැම්බර් මාසයේදී වැඩි පෝෂණ ද්‍රව්‍ය අඩංගු, දේශගුණයට අනුවර්තනය වීමේ හැකියාව ඇතුළු අද්විතීය ගුණාංග සහිත භෝග වර්ග 35 ක් හඳුන්වා දෙන ලදී. කෘතිම බුද්ධිය, දුරස්ථ සංවේදනය, භූගෝලීය තොරතුරු පද්ධති තාක්‍ෂණය, ඩ්‍රෝන යානා, රොබෝ විද්‍යාව සහ වෙනත් නවීන තාක්‍ෂණයන් මත පදනම් වූ කෘෂිකාර්මික මුලපිරීම් සඳහා, ඉන්දියානු රජය 2021-2025 වර්ෂයන් සඳහා ඩිජිටල් කෘෂිකර්ම මෙහෙයුම දියත් කර ඇත. ආහාර සැකසුම් කර්මාන්තය සඳහා නිෂ්පාදන-සම්බන්ධිත දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයක් සදහා ඩොලර් බිලියන 1.46 ක අයවැයක් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත. මේ මගින් විදේශයන්හි ඉන්දියානු ආහාර සන්නාම දිරිගැන්වීම අරමුණු කර ඇත.

කෘෂිකර්ම හා ගොවි සුබසාධන අමාත්‍යාංශයේ වාර්තා අනුව 2020-2021 වර්ෂය තුළදී සහල් මෙටි්‍රක් ටොන් මිලියන 102.36 ක සහ ආහාර ධාන්‍ය මෙටි්‍රක් ටොන් 144.52 නිෂ්පාදනය කර ඇත. කාශ්මීරයේ වගා කළ චෙරි අස්වැන්නෙහි පළමු වාණිජ නැව්ගත කිරීම 2021 වර්ෂයේ ජූලි මාසයේදී ඩුබායි වෙත යවන ලදී.

වාරිමාර්ග පහසුකම්, ගබඩා කිරීම් සහ ශීතාගාර වැනි කෘෂිකාර්මික යටිතල පහසුකම් සඳහා වැඩි ආයෝජනයක් කිරීම හේතුවෙන්, ඉදිරි වසරවලදී ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය ඉහළ වේගයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව 2022 වර්ෂය අවසාන වන විට ඉන්දියාවේ කෘෂි ආදායම දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අගමැතිවරයාගේ මත්ස්‍ය නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ යෝජනාව යටතේ මධ්‍යම රජය ධීවර කර්මාන්තය සඳහා ඩොලර් බිලියන 9 ක ආයෝජනයක් කිරීමටද අදහස් කරයි. 2024 – 2025 වනවිට මත්ස්‍ය නිෂ්පාදනය ටොන් ලක්ෂ 220 දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වේ.

වාර්තාගත විදේශ විනිමයක්

පවතින ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය තුළ වුවද 2020-2021 වර්ෂයේ දී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 1,342.14 ක් වටිනා පලතුරු සහ එළවළු අපනයනය කර ඇති අතර එය ඩොලර් මිලියන 674.53 ක් වටිනා පලතුරු සහ ඩොලර් මිලියන 667.61 ක් වටිනා එළවළුවලින් සමන්විත විය.

නව අණ පනත්

වෙළෙඳපළ වර්ධනයට සහාය වන හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති රටේ කෘෂිකර්මාන්තයේ වර්ධනයට දායක කිරීමට ඉන්දීය රජය මූලික වී ඇත. රජය කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විවිධ ප්‍රතිපත්ති දියත් කරමින් කෘෂිකාර්මික වර්ධනය දිරිගැන්වීමට සියලු උත්සාහයන් ගනිමින් සිටී. නිදසුනක් වශයෙන්, 2020 සැප්තැම්බර් මාසයේදී රජය විසින් කෘෂි ප්‍රතිසංස්කරණ පනත් තුනක් හඳුන්වා දෙන ලදී. එමගින් ගොවියාගේ නිෂ්පාදන වෙළඳ හා වාණිජ පහසුකම් වර්ධනය කිරීම, කෘෂි නිෂ්පාදන සදහා මිල සහතික කිරීම අපේක්ෂා කරයි.

එළඹෙන 2023 වර්ෂයේදී ගෝලීය ආහාර අර්බුදය ඉතා උග්‍ර අතකට හැරෙනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනතුරු අඟවා ඇති අවස්ථාවක එම අර්බුදයට සාර්ථකව මුහුණ දීමට ඉන්දියාව විසින් ගනු ලබන පියවරයන් අනෙකුත් රටවලට මහඟු ආදර්ශයක් වනු නොඅනුමානය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment