ඉන්දීය ජාතිකයකු මෙහෙයවූ මහා පරිමාණ රත‍්‍රං ජාවාරමක් මාට්ටු – කෝටි 15ක රන් කිලෝ 6 ක් සමඟ දෙදෙනෙක් දැලේ

139

ශ‍්‍රී ලංකා රජයට ගණනය කළ නොහැකි තරමේ බදු ආදායමක් අහිමි කළ මහා පරිමාණ රත‍්‍රං ජාවාරමක තොරතුරු අනාවරණය කර ගත් පොලිසිය රුපියල් කෝටි 15ක් පමණ වටිනා රත‍්‍රං කිලෝ ග‍්‍රෑම් හයක් සමග කොළඹ සහ යාපනයේ පදිංචි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කේසර් වීදිය ප‍්‍රදේශයේ විදේශ මුදල් මාරු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඉන්දීය ජාතිකයකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇත.

මෙරට විවිධ පුද්ගලයන් ඩුබායි රාජ්‍යයට පිටත්කර යවා කැරට් 24 රත්රන් බිස්කට් ගෙන්වාගෙන විදේශ මුදල් මාරු කරනු ලබන ආයතනය තුළ ඒවා එකතු කර මනාව අසුරා සැක නොසිතෙන අයුරින් සුඛෝපභෝගී මගී බස් රථ මගින් යාපනයට රැුගෙන ගොස් යාපනයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ගෙනගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම රත‍්‍රං තොග යාපනයට රැුගෙන ගොස් ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි දෙමළ ජාතිකයකු වන අතර මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව එම කොට්ඨාසය සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා සහ රත්තරන් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප‍්‍රදේශයේ දී ය.

ඩුබායි සිට රැුගෙන එන රත‍්‍රං බිස්කට්වල අංක සූක්ෂම ලෙස මකා දමා ජාවාරම මෙහෙයවන ලද ඉන්දීය ජාතිකයා එම රත‍්‍රං තොග ඉන්දියාවට ගෙන්වාගෙන තිබෙන බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රසන්න අල්විස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් අධිකාරී අසෝක ගුණසේකර, සහකාර පොලිස් අධිකාරි එච්. එච්. ජනකාන්ත, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රූනාන්ත පෙරේරා, පොලිස් පරීක්ෂක දිලීප, සැරයන්වරුන් වන දාස් ගුප්තා, බණ්ඩාර සහ ප‍්‍රසන්න යන නිලධාරීහු මෙම මෙහෙයුම සිදු කරනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment