ඉන්දීය ණයෙ බෙහෙත් හිරවේ

152

ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙරටට ලබාදුන් රුපියල් බිලියනයක ණය මුදලට අදාළව ඖෂධ ගෙන්වීම මෙරට පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් රැසක් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. එම නිසා ඔවුන් ටෙන්ඩර්වලට ඉදිරිපත් නොවන බව බලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම ණය මුදලින් සියයට හැත්තෑපහක ඖෂධ සහ ආහාර ඉන්දියාවෙන්ම ලබාගත යුතු අතර ඉතිරි සියයට විසිපහ මෙරට රජයට අවශ්‍ය පරිදි භාවිතයට ගත හැක.

මෙතෙක් කාලයක් ඖෂධ සැපයුම්කරුවෝ රාජ්‍ය බැංකු දෙක හරහා ණයවර ලිපි විවෘත කර ඖෂධ ගෙන්වා වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මුදල් ලබා ගැනීමට කටයුතු කළහ.

එහෙත් ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ගෙන්වීමට මෙරට ඖෂධ සමාගම් කටයුතු කළත් ඒවා ඖෂධ සැපයුම් අංශයට සපයා තමන්ට ඖෂධ සැපයුම් අංශයෙන් මුදල් ලැබීමක් සිදු නොවන බව පවසයි.

ඖෂධ සැපයුම් අංශයට සපයන ඖෂධ වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදී ඇති ණයෙන් එම මුදල ඉන්දියාව විසින් කපා ගන්නා බවත්, කපා ගත් මුදලින් මෙරට සමාගම්වලට ඉන්දියාවෙන් මුදල් ලබාදෙන තෙක් බලා සිටීමට සිදුවන බවත් සමාගම් ප‍්‍රකාශ කරයි.

ඖෂධ සැපයීම වෙනුවෙන් තම සමාගම්වලට ලැබිය යුතු මුදල යම් හෙයකින් ඉන්දියාවෙන් නොලැබෙන තත්ත්වයක් ඇති වුවහොත් ඖෂධ සැපයුම් අංශය හෝ වෙනත් මෙරට පාර්ශ්වයක් තමන්ට හිමි මුදල ගෙවීමට බැඳී නැති බව ඔවූහු කියා සිටිති. මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් හමුවේ තමන්ට ඉන්දීය ණය යටතේ ඖෂධ ගෙන්වීමේ හැකියාවක් නැතැයි මෙරට ඖෂධ සමාගම් විසින් බලධාරීන් දැනුවත් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment