ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනයකට ආරාධනා

188

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නොවැම්බර් 22 දින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි ගෝලීය තොරතුරු තාක්ෂණ දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් (HCL Technologies) සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත විය. අක්කර 50 ක භූමි භාගයකින් සමන්විත මෙම සමාගම තුළ 25,000 ක සේවක පිරිසක් සේවය කරති.

මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මෙම අවස්ථාවට සම්බන්ධ වූ මහ කොමසාරිස් මොරගොඩ මහතා මෙම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රතීක් අගර්වාල් මහතා සහ එතුමාගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම හමු වූ අතර  එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජන පිළිබඳව මෙන්ම එම ආයෝජන තවදුරටත් ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය.

ඇමරිකානු ඩොලර් බිලියන 11 ක වාර්ෂික ආදායමක් ලබන ඉදිරි පරපුරේ ගෝලීය තාක්‍ෂණ සමාගමක් වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගම එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් පනහක් තුළ සිය කාර්යාල පවත්වාගෙන යන අතර  පර්යේෂණ හා සංවර්ධන, නවෝත්පාදන විද්‍යාගාර සහ බෙදා හැරීමේ මධ්‍යස්ථාන ආදියෙන් සුසැදි ලොව පුරා ව්‍යාප්ත වූ ජාලයකට හිමිකම් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment