ඉන්දීය රජය දැක්වූ සහාය ශ්‍රී ලංකා රජයෙනුත් අපේක්ෂා කරනවා

299

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ඉන්දියාවට පැනවූ පාපන්දු තහනම මේ වන විට ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉන්දීය රජයේ සහයෝගය මත ඔවුන් එම තහනම ඉවත් කර ගැනීමට කටයුතු කළ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ආරක්ෂා කර ගැනීම සඳහා ද තමන් ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව රජයෙන් ලබා දෙනු ඇති බවට තමා අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී ජස්වර් උමර් මහතා මෙසේද කීය.

‘අපේ රජයෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාව වගේ නම්‍යශීලීව කටයුතු කරයි කියලා. එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සෘජුවම මෙම ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අවශ්‍ය පරිදි ඉන්දීය පාපන්දු වපසරිය සකස් කර තියෙනවා. ඒ අනුව තමයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉන්දියාවට පැනවූ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ. අපිත් ඉන්දියාවෙන් ඒ ආදර්ශය ලබා ගත යුතුයි. ඒ නිසා අපිට ද ඉන්දියාව වගේ රාජ්‍ය සහයෝගය අවශ්‍යයි.

විශේෂයෙන් රටේ පාපන්දු ක්‍රීඩාවට වින කරන පිරිසක් සිටිනව. ඔවුන් කුමන්ත්‍රණකාරී වැඩවල නිරත වෙනවා. ඒ සඳහා අපි නීතිමය කටයුතු කරනවා. ඒ වගේම මේ කුමන්ත්‍රණවලින් පාපන්දු ක්‍රීඩාව බේරා ගැනීමට රාජ්‍ය මැදිහත්වීමක් ද අවශ්‍යයි.’

වසර 4 ක නිල කාලය සහිත නව පාපන්දු ව්‍යවස්ථාව සම්මත කිරීමේ කටයුතු හා ඉදිරි නිලවරණ කටයුතු සම්බන්ධයෙන් ආසියා- ලෝක පාපන්දු සම්මේලනවල විධායක නිලධාරීන් කිහිපදෙනෙකු ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ජස්වර් උමර් මහතා පැවසීය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා සහ තමන් අතර පසුගියදා පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් මත අදාළ නිලධාරීන් ලබන මස මුල මෙරටට පැමිණීමට නියමිත බවද ඒ මහතා කීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment