ඉන්දීය විදේශ ලේකම් දළදා සමිඳුන් වැඳපුදා ගනී

138

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ඓතිහාසික ආගමික හා සංස්කෘතික බැඳීම තව තවත් තහවුරු කිරීම තම සංචාරයේ අරමුණ බව ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හාෂ් වර්ධන් ශ‍්‍රින්ගාලා මහතා පැවසීය.

මහනුවරට පැමිණ ඊයේ (03දා) ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.

දළදා මාළිගාවට පැමිණි ශ‍්‍රින්ග්ලා මහතා දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගෙන දළදා සමිඳුන් වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගියේය. එහිදී දළදා තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඒ මහතා දළදා වහන්සේට පුෂ්පෝපහාර පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි අවස්ථාවේ ශ‍්‍රී දළදා මාලිගාවට අනුබද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිහිටි පල්ලේකැලේ පරිශ‍්‍රයේ උඩරට නර්තන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගත් බවත් එම ව්‍යාපෘතිය මේවන විට අවසන් වෙමින් තිබෙන බවත් විදේශ ලේකම්වරයා පැවසුවේය.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය එස්. අතිරා යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment