ඉන්දීය – ශ්‍රී ලංකා ආණ්ඩු දෙකටම විසඳන්නට වුවමනා නැති ධීවරයන්ගේ මුහුද මැද්දේ මාළු යුද්ධය

237

පසුගිය වසර කීපය ගෙවීගියේ අර්බුද ගහනව ය. ඒ පාස්කු බෝම්බ, කොරෝනා වසංගතය හා රටට එල්ල වූ දැඩි ආර්ථික අර්බුදය වැනි කාරණා හේතුකොටගෙනය. තවද මෙරට, මෑත කාලයේ එල්ල වූ විශාලතම විදේශ විනිමය අර්බුදයට රටක් වශයෙන් තවමත් අප මුහුණ දෙමින් සිටී. නිසැක වශයෙන්ම රටේ වත්මනෙහි නිර්මාණය වී ඇති සියලුම ගැටලුවලට මුල්වන්නේ රට තුළ විදෙස් මුදල් සංචිත නොමැතිවීමය. එමෙන්ම දෙස් විදෙස්හි පවා කතාබහට ලක්වන්නේ ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික පරිහානිය පිළිබඳවය. එමෙන්ම දිනෙන් දින රට තුළ සිදුවූ මූල්‍ය වංචා, ඝාතන, විදෙස් රටවල සිදුකළ ශ්‍රී ලාංකික කතුන් ජාවාරම වැනි පුවත් මේ දිනවල රටේ කා අතරත් ප්‍රචලිතය. රටේ තත්ත්වය එසේ තිබියදී අපේ රටේ ධීවර කර්මාන්තය හා එම කාර්මිකයන් මුහුණදෙන ප්‍රශ්න ගැන මේ කාලය තුළ සාකච්ඡාවට බඳුන් වන්නේ නැතිතරම්ය. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා ධීවරයන් හා ඉන්දීය ධීවරයන් අතර ගැටුම් හටගනිමින් පවතින බවක් පෙනෙන්නට ඇත. එමෙන්ම උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන් පිරිසක් මේ වනවිටත් නාවික හමුදා අත්අඩංගුවේ පසුවීම වැනි කාරණා වලින් සනාථ වන්නේ රටේ අනෙකුත් ප්‍රශ්න මෙන්ම රටේ ධීවර කර්මාන්තයද දැඩි බලපෑමකට ලක්වී ඇති බවකි.

● ශ්‍රී ලංකා – ඉන්දීය ධීවර ගැටුම්

ඉන්දීය ධීවරයන් විසින් අනවසරයෙන් පේදුරුතුඩුව මුහුදු තීරයට ඇතුළු වී එහි මුහුදු යන ධීවරයන්ගේ වටිනා දැල් ආම්පන්න විනාශකොට පලා ගිය බවට පේදුරුතුඩුව ධීවරයෝ පවසා සිටිති. පේදුරුතුඩුව මුහුදු සීමාවට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 50 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු වී පේදුරුතුඩුව ධීවරයන්ගේ දැල් විනාශකොට ඇත. පේදුරුතුඩුව ධීවරයන් පෙන්වාදෙන ආකාරයට ඉන්දියානු ධීවරයන්ගේ යාත්‍රා විශාල ට්‍රෝලර් යාත්‍රා වන අතර පේදුරුතුඩුව ධීවරයන්ගේ යාත්‍රා කුඩා බෝට්ටු බැවින් කාලයක සිටම ඉන්දියානු ධීවරයන් උතුරේ ධීවර බෝට්ටුවලට සහ ධීවරයන්ට විවිධ බාධාවන් සිදුකරයි.

● ධීවර ගැටුමේ ඉතිහාසය

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය මේවන විට කතාබහට ලක්වුවද එය අද ඊයේ ඇතිවූවක් නොවේ. විද්වතුන්ගේ මතවලට අනුව මෙම ප්‍රශ්නය යටත් විජිතසමය දක්වාම දිව යන්නකි. එහෙත් මෙම ප්‍රශ්නය විසඳීමට අධිරාජ්‍යවාදීන්ට සැබෑ අවශ්‍යතාවක් තිබී නොමැත. ඊට හේතුවී ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් දෙකම ඔවුන්ගේ යටත් විජිතයන් වීමය. එමෙන්ම මෙම ප්‍රශ්නයට තිරසර විසඳුමක් සෙවීමට කැපවූ නායිකාවක් ලෙස දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැඳින්විය හැකිය. ඇයගේ මැදිහත්වීම මත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා වෙන් කිරීමට පවා එකල කටයුතු කෙරිණි. කච්චතිව් දිවයින ශ්‍රී ලංකාවට ලබාගැනීමද ඇයගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැක. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ දෙරටේම ධීවරයන් එක් එක් රටවල අත්අඩංගුවට පත්වූ වාර ගණන අපමණය. මේ වනවිට ඉන්දීය ධීවරයන් 25 දෙනෙක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවෙති. එමෙන්ම ශ්‍රී ලාංකික ධීවරයෝ දෙදෙනකු ඉන්දීය අත්අඩංගුවේ පසුවෙති. ඒ ඔක්තෝබර් 23 වැනිදා පස්වරුවේයි. ඔවුන් යාපනය වැල්වැටිතුරෙයි පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 23ක සහ 24 ක ධීවරයන් දෙදෙනෙකි. 2022 ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් 228 දෙනකු සමග ධීවර යාත්‍රා 30 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි. යාපනය වෙත්තිලකේණි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවත් සමග ඉන්දීය ධීවරයන් 14 දෙනකු පසුගිය 17 දින අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව ප්‍රකාශ කර ඇත. ඉන්දීය ධීවරයන් සහ ධීවර යාත්‍රාව ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමඟින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන කන්කසන්තුරයට රැගෙන විත් මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතට භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

● ඉන්දියාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට දෝෂාරෝපණ

පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කටයුතුවල යෙදෙන තමිල්නාඩු ධීවරයන්ගේ ධීවර අයිතීන් ශ්‍රී ලංකා නාවික හමුදා උල්ලංඝනය කරමින් සිටින්නේ යැයි තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් මහතා සඳහන් කරයි. ඔහු මේ පිළිබඳව ඉන්දීය විශේෂ අමාත්‍ය එස්. ජයශංකර් මහතාට ලිපියක් යොමුකරමින් පැමිණිලි කර ඇත. මේ තත්ත්වය ඉන්දියාවටද අභියෝගයක් බව පෙනෙන්නට තිබෙන බවද මෙවැනි දේ නැවත සිදු නොවීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත්වන ලෙසද ඔහු එම ලිපිය මගින් ඉල්ලා ඇත. ඉන්දියාවෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද තමිල්නාඩු ධීවර බෝට්ටු විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

● ශ්‍රී ලංකා ධීවරයන්ගේ විරෝධය

ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුල්වීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා ධීවරයෝ පසුගියදා මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදේ ධීවර විරෝධතාවක් පැවැත්වූහ. උතුරේ මෙන්ම දකුණේ ධීවරයන්ද ඊට එකසේ සහභාගි විය. එම අවස්ථාවේ උතුරු – නැගෙනහිර ධීවරයන් සිය ගණනක් තම යාත්‍රාවල කළු කොඩි ඔසවමින් විරෝධය පළ කළහ. මෙරට ධීවරයන් චෝදනා කරන්නේ ශ්‍රී ලංකා මුහුදට නීති විරෝධීව ඇතුළු වන ඉන්දීය ධීවරයන් මුහුදේ පතුලටම දැල් දමා ඇදගෙන යන “බොටම් ට්‍රෝලින්” යන තහනම් ධීවර පන්න ක්‍රමය යොදා ගනිමින් මෙරට මුහුදේ මත්ස්‍ය සම්පත මුළුමනින්ම සූරා කෑමකට ලක්කරන බවකි. මෙම විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර එම්. ඒ. සුමන්තිරන්, ශානක්‍යයන් රාසමානික්කම්, එස්. ශ්‍රීධරන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ඒ අතර විය. එහිදී රාසමානික්කම් මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ ඉන්දීය ධීවර යාත්‍රා පැමිණීම වැළැක්වීම සඳහා ධීවර අමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට එරෙහිව මෙම ධීවරයන් විරෝධතාවයේ නිරත වූ බවකි.

● ලංකාවේ මත්ස්‍ය සම්පතෙන් වාසි ගන්න ඉන්දියාව

ඉන්දීය ධීවරයන් මන්නාරමට ඉහළින් කන්කසන්තුරය දක්වා වන පෝක් සමුද්‍රසන්ධිය අවට මුහුදු කලාපයට වැඩි වශයෙන් පිවිසෙන්නේ එය මසුන්ගෙන් පිරී ඇති ප්‍රදේශයක් නිසාවෙනි. විශේෂයෙන්ම වසර 30ක් පමණ බහුදින ධීවර යාත්‍රා බහුල ලෙසින් එම කලාපයේ ධීවර කටයුතු වල නියැළීමෙන් වැළකීමත් ස්වභාවිකවම පොකිරිස්සන් වැනි මිල අධික මසුන් හසුවීමත් නිසා ඔවුහු ශ්‍රී ලංකා මුහුදු කලාපය ආක්‍රමණය කිරීමට හුරුවී සිටිති. පොකිරිස්සන්ට බටහිර රටවලින් වැඩි ඉල්ලුමක් ඇති නිසා හොඳ වෙළෙඳපොළක් පවත්වාගෙන යෑමට ඉන්දියාවට හැකිවී ඇත. එමෙන්ම සැමන් මසුන්ද මේ කලාපයේ බහුලවම හමුවන අවස්ථාවන්ද තිබේ. එය මත්ස්‍ය සැකසුම් කර්මාන්තයට මහත් පිටිවහලක් වනු ඇත. තමිල්නාඩුවේ පමණක් මසුන් සකස් කිරීමේ කම්හල් 28 ක් තිබේ. ඒවාට මසුන් අලෙවි කරන ධීවරයන්ට ඉහළ මුදලක් ලැබෙන අතර ඉන්දියාව විශාල රටක් බැවින් රට අභ්‍යන්තරයට මත්ස්‍ය සම්පත විශාල මිලකට අලෙවි කළ හැකිය. තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් ධීවරයන් ලක්‍ෂ 82 ක් සිටී. බහුදින යාත්‍රා 6400ක් හා ධීවර යාත්‍රා 63,000 ක් පමණ එහි ධීවර කටයුතු සඳහා භාවිත කරනු ලබයි. ඔවුන් බහුතරයක් ලයිට් කෝස් වැනි නීති විරෝධී ක්‍රම භාවිත කිරීම පුරුද්දක් ලෙසම සිදුකරන අතර මෙරට මුහුදු තීරයට ඇතුළුවන එක් බහුදින යාත්‍රාවක් අවම වශයෙන් කිලෝ 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් මසුන් රැගෙන යනු ලැබේ.

● මෙරට ධීවර සංගම්වල මතය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පවසා සිටින්නේ මෙම ප්‍රශ්නය උතුරේ ධීවරයන්ට පමණක් ලඝු නොකළයුත්තක් බවය. උතුරු පළාතෙන් එකතුවන මත්ස්‍ය අස්වැන්න මෙරට ආර්ථිකයට බලපාන බවත් මෙය ජාතික ආර්ථිකයට සෘජුවම බලපාන කරුණක් බවද පෙන්වා දෙන ඔහු චෝදනා කර සිටින්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලී ස්වභාවයකින් කටයුතු කරන බවකි. තවද ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආර්ථික කලාපයට ඉන්දීය හෝ වෙනත් යාත්‍රා ඇතුළු වීම තහනම් බව පෙන්වා දෙන ධීවර සංගම් ඉන්දීය ධීවරයන් තහනම් පන්න ක්‍රමයක් වන බොටම් ට්‍රෝලින්වල නිරත වනවා පමණක් නොව මෙරට ධීවරයන්ට පහර දෙන බවත් ඔවුන්ගේ දැල් ආම්පන්න විනාශ කරන බවටත් චෝදනා එල්ල කරති. තවද මාසයකට ඉන්දීය ධීවර යාත්‍රා 10,000 ක් පමණ මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරන බව ඔවුහු පෙන්වා දෙති. එසේ පැමිණෙන යාත්‍රා වලින් ඉතා කුඩා ප්‍රමාණයන් පමණක් මෙරට ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා බවද ඔවුහු පෙන්වා දෙති.

දූපතක් වන ශ්‍රී ලංකාව කරදිය ධීවර කර්මාන්තය මනාව පවත්වාගෙන යෑම සඳහා ස්වභාවධර්මයා විසින් ලාංකිකයන්ට සුදුසු භූගෝලීය පරිසරයක් නිර්මාණය කොට දී ඇත. එමෙන්ම කිලෝමීටර 1,700 ක වෙරළ තීරයකින් මෙන්ම වර්ග කිලෝමීටර් 30,000 ක මහාද්වීප තටාකයකින් සමන්විතය. එහෙත් අපේ රටේ ධීවර කර්මාන්තය නිසිපරිදි පවත්වාගෙන යෑම මෙතෙක් සිදුවී නැත. එයට හේතුවී ඇත්තේ අපේ රටේ ධීවරයන්ට ඉන්ධන වල ප්‍රශ්න ඇත. කොටින්ම කිවහොත් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන අද නැත. එමෙන්ම ධීවර මෙවලම්වල මිල ඉතා ඉහළ ගොස් ඇත. ඉහත තොරතුරු වලින් වාර්තා වන්නේ අපේ රටේ ආර්ථිකයට සෘජුව බලපාන මත්ස්‍ය සම්පත ශ්‍රී ලාංකිකයන්ට අහිමි වන ආකාරයයි. සැබැවින්ම ඉන්දීය – ලංකා ධීවර ගැටුමට මෙතෙක් සාර්ථක පිළිතුරු රටේ බලධාරීන් ලබාදී නොමැතිවගක් පෙනී යයි. එහෙත් සිදුවිය යුත්තේ මෙසේ මුහුදු සීමා ආක්‍රමණය කරන්නන්ට දැඩි නීති පනවා වහා නීතිය ක්‍රියාත්මක කරවීමයි. තවද මෙම මත්ස්‍ය සම්පත් බාධාවකින් තොරව නෙළා ගැනීමට ලාංකික ධීවරයාට අවස්ථාව සැලසිය යුතුය.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment