ඉන්දීය සංචාරයත් වැට උඩ මලල කී‍්‍රඩා ඔලිම්පික් ගමන කොට උඩ

190

කුෂාන් සුබසිංහ
 
ඔලිම්පික් තරගාවලිය සඳහා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සිය හැකියාවන් පෙන්වීමට තිබෙන අවසන් දිනය මේ මස 29 වැනිදායින් අවසන් වේ. ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට මලල කී‍්‍රඩාවෙන් තෝරා ගැනෙන්නේ කවුරුන්ද යන තීරණයේ අවසන් සටන එදින නිමා වනු ඇත.
 
 ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට ඔලිම්පික් තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 4 දෙනකු සුදුසුකම් ලැබ ඇත. ඒ මැටිල්ඩා කාල්සන්, නිලූක කරුණාරත්න, මිලිකා ගිහානි රත්නායක සහ ටෙහානි එගොඩවෙල යන අය වෙති. ඉන් මැටිල්ඩා සුදුසුකම් ලබන්නේ තුරඟ හරඹ බාධක පැන්නීමේ තරගයෙනි. නිලූක කරුණාරත්න බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් වන අතර මිල්කා ගිහානි රත්නායක ජිම්නාස්ටික් කී‍්‍රඩාවෙනි. ටෙහානි එගොඩවෙල ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන්නේ ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙනි.
 
 මේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හතර දෙනාම මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ නොවෙති. එහෙත් ශී‍්‍ර ලංකාව මලල කී‍්‍රඩා බලාපොරොත්තු කිහිපයක් ද ඔලිම්පික් උළෙල වෙනුවෙන් තබාගෙන සිටී. ඉන් ඉහළින්ම සිටින්නේ යුපුන්ය. මේ වනවිට ඉතාලියේ පුහුණුවීම් හදාරන යුපුන් අබේකෝන් මීටර් 100 පිරිමි ඉසව්වෙන් වාර්තා කර ඇති හොඳම කාලය තත්පර 10.15 කි. පසුගියදා ඉතාලියේ රෝමයේ පැවැති ඩයමන්ඞ් ලීග් තරගාවලියේදී මීටර් 100 තත්පර 10.16කින් නිම කරමින් සිව්වැනි ස්ථානයට පත්වීමට යුපුන්ට හැකි විය. ලෝක ශූර කෙටි දුර ධාවන ශූරයන් වන ඇමරිකාවේ මයිකල් රොජර්ස් සහ අයිවරි කෝස්ට්හි ආතර් කිසී යන කී‍්‍රඩකයන් ද පරාද කරමින් සුපුන් හතරවැනි තැනට පත්වීම විශිෂ්ට දක්‍ෂතාවයක් ලෙස සැලකේ.
 
 ඔලිම්පික් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි ඩයමන්ඞ් ලීග් තරගාවලියට පෙර 65 වැනි ස්ථානයේ පසුවූ යුපුන් මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්හි 48 වැනි ස්ථානයේ පසුවේ. ඩයමන්ඞ් ලීග් තරගාවලියේ පෙන්වන ලද දක්‍ෂතා හේතුවෙන් යුපුන් ඉදිරියට පැමිණි අතර මේ වනවිට ඔහු තවත් ස්ථාන 02ක් පසුකරමින් 48ට පැමිණ ඇත. ඔලිම්පික් සඳහා මීටර් 100 පිරිමි තරග ඉසව්වට කී‍්‍රඩකයන් 56 දෙනකු තෝරා ගැනෙති. ඒ එම ඉසව්වට ඍජුව කී‍්‍රඩකයන් 39 දෙනකු තෝරා ගැනීමෙන් අනතුරුව තවත් 17 දෙනකු ප‍්‍රසාද ලකුණු මට්ටමෙන් තෝරා ගනිමිනි. සුපුන් ඊයේ (18 වැනිදා) ද ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමට නියමිතව සිටි අතර ඒ අනුව යුපුන්ට සිය ප‍්‍රසාද ලකුණු වැඩිකර ගැනීමට එයද මහඟු අවස්ථාවක් වනු ඇත. ඒ අනුව යුපුන් බොහෝවිට ටෝකියෝ 2020 ඔලිම්පික් තරග සඳහා සුදුසුකම් ලැබීමට නියමිත අතර එසේ වුවහොත් 1996 වසරේ ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලට චින්තක ද සොයිසා සහභාගි වීමෙන් පසුව මීටර් 100 පිරිමි ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලද පළමු කී‍්‍රඩකයා යුපුන් බවට පත්වේ.
 
 යුපුන්ට පසුව ශී‍්‍ර ලංකාවේ ආසන්නතම ඔලිම්පික් බලාපොරොත්තුව නිලානි රත්නායකය. ඇය මීටර් 3000 බාධක දිවීමේ ශූරිය වන අතර ඇය මේ වනවිට එම ඉසව්වේ කී‍්‍රඩිකාවන් අතර 41 වැනි තැනට ශ්‍රේණිගත වී ඇත. නිලානිට ඉහළින් ආසියාවේම සිටින්නේ එක කී‍්‍රඩිකාවක පමණි. ඇය බහරේනයේ කී‍්‍රඩිකාවක් වන යාවි මුටිල් වින්ග්‍රොඞ් වේ. ඇය ආසන්නයේවත් දකුණු ආසියාවේ කී‍්‍රඩිකාවක් නම් පෙනෙන්නටවත් නැත.
 
 නිලානිට මෙන්ම යුපුන්ට ද දකුණු ආසියාවේ සටනක් ඇත්තේම නැත. ආසියාවේ යුපුන්ට ඉහළින් සිටින්නේ ජපානයේ සහ චීනයේ කී‍්‍රඩකයන් 6 දෙනකු වන අතර අනෙක් කී‍්‍රඩකයා බහරේනයේය. සුපුන් ඉතාලියේ සිටිමින් පුහුණුවීම් කරන්නට තරම් වාසනාවන්ත වූ නිසා ඔහුට සිය ප‍්‍රසාද ලකුණු වැඩිකර ගැනීමට අවශ්‍ය තරම් තරගවලට සහභාගිවීමට අවස්ථාව ලැබුණි. එහෙත් නිලානිට මතු නොව අපේ අනෙක් ඔලිම්පික් බලාපොරොත්තු වන සුමේධ රණසිංහ, නදීෂා රාමනායක, නිමාලි ලියනආරච්චි යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ද එසේ ප‍්‍රසාද ලකුණු ලබා ගැනීමට තරගාවලි ලැබුණේ නැත. මේ තිදෙනාම මේ වනවිට ලංකාවේ සිටින අතර ශී‍්‍ර ලංකාවේ උස පැනීමේ ඔලිම්පික් බලාපොරොත්තුව වන උෂාන් තිවංක සිටින්නේ ඇමෙරිකාවේය.
 
 නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ශ්‍රේණිගත කිරීම් අතර මීට මාස කිහිපයකට උඩ සිටියේ 35 වැනි ස්ථානයේය. ඇය දැන් 41 වැනි ස්ථානයට වැටී තිබෙන්නේ ඇයගේ දුර්වලතාවයක් නිසා නොව ඇයට ඔලිම්පික් පරිසාදන මට්ටම සලකා බැලෙන ජාත්‍යන්තර තරගාවලි නොමැති වීමත් එම ඉසව්ව නියෝජනය කරන වෙනත් කී‍්‍රඩිකාවන් තරගාවලියන්ට සහභාගි වීමෙන් සිය දක්‍ෂතා ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමත් නිසාය. නිලානිගේ දක්‍ෂතා තව දුරටත් අනෙක් කී‍්‍රඩිකාවන් පසුකර ගොස් ඇය 45 වැනි ස්ථානයෙන් පහළට වැටුණහොත් නිලානිගේ මතු නොව ශී‍්‍ර ලංකාවේද තවත් ටෝකියෝ 2020 ඔලිම්පික් බලාපොරොත්තුවක් මිලාන වී යනු ඇත. මන්ද එම ඉසව්වෙන් ඔලිම්පික් සඳහා ගනු ලබන්නේ කී‍්‍රඩිකාවන් 45 දෙනකු පමණක් නිසාය.
 
 එසේම මේ වන විට ඔලිම්පික් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ ලැයිස්තුවේ 55 වැනි ස්ථානයේ සිටින මීටර් 800 කී‍්‍රඩිකා නිමාලි ලියනආරච්චි, මීටර් 400 කී‍්‍රඩාවෙන් 56 වැනි ස්ථානයේ සිටින නදීෂා රාමනායක, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් 46 වැනි ස්ථානයේ සිටින සුමේධ රණසිංහ සහ උස පැනීමේ ඉසව්වෙන් 52 වැනි ස්ථානයේ සිටින උෂාන් තිවංකද මේ අවදානමේ පසුවෙති.
 
 ඒ අවදානම යම්තරමකට හෝ පහකර ගැනීමට තිබුණු අවස්ථාවන්ද වියැකී යමින් ඇත. කොවිඞ් අවදානම හේතුවෙන් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමේ බලාපොරොත්තුවලට පහර වදිමින් ඇත. ඒ ඉන්දියාවේ මේ මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය සඳහා ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි කරවීම අවිනිශ්චිත මට්ටමකට පත්ව තිබීම නිසාය. එම තරගාවලිය සඳහා ඉහත කී‍්‍රඩකයන් ද ඇතුළත්ව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 16 දෙනකු අදාළ තරගාවලියට සහභාගි කරවීමට සූදානම් කර තිබුණ ද මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට පසුගියදා ප‍්‍රකාශ කර සිටියේ ඔලිම්පික් කඩඉමට ආසන්නයේම සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5 දෙනාව හෝ තරගාවලියට සහභාගි කරවීමට කටයුතු කරන බවයි. එමෙන්ම එයද කොවිඞ් අවදානම නිසා අවදානම් සහගත කටයුත්තක් බවයි. කෙසේ වෙතත් මේ තරගාවලියට පෙර ශී‍්‍ර ලංකාවට හිමිව තිබූ කසකස්තාන තරග සංචාරයද ශී‍්‍ර ලංකාවට අහිමිව ගියේය. කසකස්තාන බලධාරීන් වීසා ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි ශී‍්‍ර ලංකාවට ලබා නොදුන් බව ඊට හේතු ලෙස ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය දන්වයි. කෙසේ වෙතත් මේ මඟහැරී යන්නේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සිය හැකියාවන් ලෝකය හමුවේ ප‍්‍රදර්ශනය කර විශ්වයේ අසිරිමත් කී‍්‍රඩා සැණකෙළියට සහභාගි වීමට තිබෙන අවස්ථාය. දක්‍ෂතා තිබියදීත් ඔලිම්පික් යන්න බැරි වෙනවා නම් එය කාගේ වරදක්ද?

advertistmentadvertistment
advertistmentadvertistment