ඉන්දු චීන ගැටුම යළි කරලියට

737

ඉන්දීය ඇමැතිවරයකු වන අනුරාග් තාකුර් ප්‍රකාශ කර තිබුණේ රාහුල් ගාන්ධි “බිය” පතුරුවාහරින බවත් ඔහුට ඉන්දීය හමුදාව ගැන විශ්වාසයක් නොමැති බවත්ය. “මේ මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙන්නේ චීනයේ නාමයෙන් බිය පතුරුවන එක. නමුත් මේක 1962 ඉන්දියාව නෙවෙයි, මේ 2014 ඉන්දියාව, මේ ඉන්දියාව නරේන්ද්‍ර මෝදී නායකත්වය යටතේ ඉදිරියට යනවා” යනුවෙන් තාකුර් ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි පසුගිය සිකුරාදා නරේන්ද්‍ර මොදී ආණ්ඩුවට එල්ල කළ චෝදනාවක් නිසා මහත් ආන්දෝලනයක් ඇති විය. රාහුල් ප්‍රකාශ කර සිටියේ චීනය දේශ සීමා යුද්ධයට සූදානම් වන බවත් ඉන්දීය රජය ඒ ගැන ගණන් නොගෙන නිද්‍රාශීලීව යුද තර්ජනය නොසලකා හැරීමට උත්සාහ කරන බවයි. චීනය ඉන්දීය භූමියෙන් වර්ග කිලෝමීටර් 2,000 ක් පැහැරගෙන ඇති බවත්, ඉන්දීය සොල්දාදුවන් 20 දෙනකු මරා දමා “අරුනාචල් ප්‍රදේශ්හි සිටින ඉන්දීය සෙබළුන්ට පහර දෙන බවත් ඔහු චෝදනා කළේය. “මට චීනයේ තර්ජනය ඉතා පැහැදිලිව පෙනෙනවා. පසුගිය වසර දෙක තුනක කාලය තුළ මට මේ කරුණු පිළිබඳව පැහැදිලියි, නමුත් මෝදී ආණ්ඩුව එය සඟවා නොසලකා හැරීමට උත්සාහ කරනවා. මෙම තර්ජනය සැඟවීමට හෝ නොසලකා හැරීමට නොහැකිය.

ඉන්දු චීන ගැටුම යළි කරලියට

අරුණාචල් ප්‍රදේශ් සහ ලඩාක් ප්‍රදේශවල චීන හමුදාවේ ප්‍රහාරාත්මක සූදානමක් සිදුවෙමින් පවතී, නමුත් ඉන්දීය රජය නිදාගෙන සිටී. චීනයේ සූදානම ක්‍රියාත්මකයි. සූදානම යුද්ධයට ය. එය ආක්‍රමණයට නොවේ, යුද්ධයට ය. ඔබ ඔවුන්ගේ ආයුධ රටාව දෙස බැලුවහොත්, ඔවුන් කරන්නේ කුමක්ද පැහැදිලි වෙනවා. අපේ ආණ්ඩුව මෙය සඟවා ගෙන ඉන්නවා යැයි රාහුල් ගාන්ධි ජායිපූර්හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය. රාහුල් ගේ ප්‍රකාශය ගැන කලබලවූ මෝදී ආණ්ඩුවේ ඇමැතිවරු සෙනසුරාදා දිනයේ දිගට හරහට කොන්ග්‍රස් නායකයාට පහර දෙන්නට වූහ. ඉන්දීය ඇමැතිවරයකු වන අනුරාග් තාකුර් ප්‍රකාශ කර තිබුණේ රාහුල් ගාන්ධි “බිය” පතුරුවාහරින බවත් ඔහුට ඉන්දීය හමුදාව ගැන විශ්වාසයක් නොමැති බවත්ය. “මේ මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙන්නේ චීනයේ නාමයෙන් බිය පතුරුවන එක. නමුත් මේක 1962 ඉන්දියාව නෙවෙයි, මේ 2014 ඉන්දියාව, මේ ඉන්දියාව නරේන්ද්‍ර මෝදී නායකත්වය යටතේ ඉදිරියට යනවා” යනුවෙන් තාකුර් ඇමැතිවරයා අවධාරණය කර තිබේ. තවත් ඇමැතිවරයෙක් වන කිරාන් රිජ්ජු පවසා තිබුණේ කොන්ග්‍රස් නායකයා ඉන්දියාවේ ප්‍රතිරූපයට නිග්‍රහ කරන බවයි. අරුනාචල් ප්‍රාන්තය වඩා සුරක්ෂිත බව එම ඇමැතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි.

චීනය හා ඉන්දියාව අතර ඇති දේශ සීමා කලාපය කිලෝ මීටර් 3,488ක් දුරට දිවේ. මෙම දේශසීමා කලාපය තුළ චීන හමුදාව මෙන්ම ඉන්දීය හමුදාව ද ස්ථානගත කර සිටිති. අවස්ථා කිහිපයකදීම දෙරටේ හමුදා සොල්දාදුවෝ මුහුණට මුහුණලා සටනට සැරසුණහ. මේ දේශ සීමා කලාපය අංශ තුනකට බෙදා ඇත: බටහිර අංශය ලඩාක් කලාපය ලෙසත් මැද අංශය හිමාචල් ප්‍රදේශ් සහ උත්තරකාන්ද් කලාපය ලෙසත් සහ නැගෙනහිර අංශය සිකීම් සහ අරුනාචල් ප්‍රදේශ් කලාපය ලෙසත් බෙදා ඇත. රටවල් දෙකම මෙම කලාප දෙස බලන්නේ ආර්ථිකමය මෙන්ම යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙසිනි.

එක් පාර්ශ්වයක් විසින් හෝ එම ප්‍රදේශය අවහිර කරනු ලැබුවහොත් මුළුමහත් කලාපයටම අස්ථාවර තත්ත්වයක් උදා වීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ.

ලදාක් හි ගල්වාන් නිම්නයේ 2020 ජුනි මාසයේ ඇතිවූ ගැටුමෙන් ඉන්දීය සෙබළු 20 දෙනෙක් මරණය පත්විය. එසේම චීනයේ මහජන විමුක්ති හමුදාව පසුගිය දෙසැම්බර් 9 වන දින අරුනාචල් ප්‍රදේශ්හි ටවාන්ග් හි දේශසීමාව ඉක්මවා යෑමට උත්සහ කිරීම නිසා ගැටුමක් ඇතිවිය. ටවාන්ග් යනු හයවන දලයි ලාමාගේ උපන් ස්ථානය වන අතර, ටිබෙටය පිළිබඳ චීනයේ ඓතිහාසික හිමිකම් දිගින් දිගටම අභියෝගයට ලක්ව ඇති හෙයින්, එහි හිමිකම් ශක්තිමත් කිරීමේ මාර්ගයක් ලෙස මෙම නගරය පාලනය කිරීම වෙනුවෙන් මැදිහත්වීම බීජිං පාලනයට වැදගත් වේ. යැංට්සේ හි කඳු මුදුන අල්ලා ගැනීම, සෙලා පාස් හරහා ටවාන්ග් සහ ඉන්දියාවේ සෙසු ප්‍රදේශ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගවලට විශේෂ වැදගත්කමක් ඇති කරයි. ටවාන්ග් හි ඇතිවූ ගැටුම ගැන ඉන්දීය රජය ප්‍රකාශයක් කළේ ද හින්දු සහ ටි්‍රබියුන් පුවත්පත්වල එය වාර්තා කිරීමෙන් පසුවයි. චීන හමුදාවේ ගැටුම ගැන සඳහා විපක්ෂ විවාදයක් ඉල්ලා ඇතත් මෝදී ආණ්ඩුව එම ඉල්ලීමට එකඟ වී නැත. මීට පෙර පවා, ලඩාක් හි ගැටුම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් සිදු නොවුණේ එය ඉන්දීය හමුදාවේ ධෛර්යය ප්‍රශ්න කිරීමක් මෙන්ම හමුදාව අපහසුතාවයට පත්කිරීමක් ලෙස භාරතීය ජනතා පක්ෂය කල්පනා කළ නිසාය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ පාර්ලිමේන්තුව තුළ පවා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රසිද්ධ සාකච්ඡාවක් සිදු නොවීම විහිළුවක් බව ඉන්දීය මාධ්‍ය කියයි. “දේශප්‍රේමය පාදඩයාගේ අවසාන රැකවරණය” බව ඒ පුවතේ අවධාරණය කර තිබිණි.

ඉන්දියාව සහ චීනය යුද ගැටුමකට අවතීර්ණ වූයේ එක් වතාවක් පමණි. ඒ 1962 දීය. එහිදී ඉන්දියාවට අන්ත පරාජයක් හිමිවිය. මෙම යුද්ධය 1962 ඔක්තෝබර් මස 20 දින ආරම්භ වී නොවැම්බර් මස 21 දින චීනය විසින් ඒකපාක්ෂිකව ප්‍රකාශිත සටන් විරාමයක් යටතේ කෙළවර විය. මාසයක් පමණ පැවති මෙම යුද්ධය ජාත්‍යන්තර වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත කරනු ලැබිණ. මෙහි අතුරු ප්‍රතිඵලය වූයේ ඉන්දියාවත් – චිනයත් ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රබල පසමිතුරන් බවට පත්වීමයි.

චීන ආණ්ඩුව විසින් පාලනය කරන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසන්නේ ඉන්දීය හමුදාව චීනය සමඟ ඇති සිය දේශසීමා ගැටුම් යළි යළිත් උද්දීපනය කර ඇති අතර, ආරක්ෂක අයවැයක් ඉහළට දැමීමේ උත්සාහයක් ලෙස ඊනියා චීන තර්ජන න්‍යාය අතිශයෝක්තියට නංවා තිබෙන බවයි. ඉන්දියාවේ නිරන්තර අතිශයෝක්තියට යටත්ව එරට තුළ, චීනයට එරෙහි ජාතිකවාදය ඉහළ යමින් පවතින අතර, බොහෝ දේශපාලනඥයන් නිරන්තරයෙන් මෙම හැඟීමට අනුග්‍රහය දක්වන බව එම පුවත්පත කියයි. චීන හමුදා විශේෂඥයකු හා රූපවාහිනි විචාරකයකු වන සෝන්ග් සොන්ග්පින්ග්ට අනුව, දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය කුපිත කිරීමේ ඉන්දියාවේ ප්‍රයත්නයන් සමග ඇමෙරිකානු සහය හා උපකාරය ඇත. චීනය සහ ඉන්දියාව අතර දේශසීමා කලාපයේ ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් පවත්වන ලද ඒකාබද්ධ හමුදා අභ්‍යාසය දෙසැම්බර් 2 දා අවසන් විය. දෙසැම්බර් 9 වැනිදා චීන හා ඉන්දියා සොල්දාදුවන් අතර ගැටුමෙන් පසු එක්සත් ජනපදය ප්‍රකාශ කළේ වොෂින්ටනය ඉන්දියාව වෙනුවෙන් පූර්ණ සහාය දෙන බවයි. මේ සියල්ල හරහා චීනය කුපිත කිරීම වෙනුවෙන් ඉන්දියාව කටයුතු කරන බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත අවධාරණය කරයි.

ඇත්තෙන්ම චීනයත් ඉන්දියාවත් අතර පවතින්නේ බල අරගලයකි. ආසියාවේ බලවතා වීම මේ දෙරටේම අරමුණය. එහෙයින් අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාවක් වන චීනයට අයත් ‘යුවාන් වැන්ග් 5’ පසුගිය අගෝස්තු මාසයේ හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම තම රටේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව සැලකූ අතර එය දිල්ලි ආණ්ඩුව කෝප කරවන්නක් විය. වයඹදිග ඉන්දීය සාගර කලාපයේ අභ්‍යවකාශ හා චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය සඳහා පැමිණි යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධයක් පල කළේ එය කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක් බව පවසමිනි. ඒ දිනවල ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ මෙම නෞකාවට කිලෝ මීටර 750 කට වඩා ඉහළ ගුවන් ප්‍රවේශ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවයි. මේ චීන නැවට දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කුඩන්කුලම් වැනි ඉන්දියානු පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබිණි. හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනමක් යටතේ චීනය විසින් ලබාගෙන ඇති හෙයින් එය චීන හමුදා කඳවුරක් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කරනු ඇතැයි යන බියද ඉන්දියාවට පවතී. එහෙත් එය බොරු බිල්ලෙක් මවා පෑමකි. මුලින්ම යුවාන් වැන්ග් 5 මුලින් අගෝස්තු 11 දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ අතර, ඉන්දියාවේ විරෝධය මත අගෝස්තු 16 කල් ගියේය. චීනයේ හමුදා නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ චීන මහජන විමුක්ති හමුදාවේ උපායමාර්ගික ආධාරක බළකාය විසින් බවයි. 2014 දී චීනයේ සබ්මැරීනයකට සහ යුද නැවකට කොළඹ නැංගුරම්ලෑමට ශ්‍රී ලංකාව ඉඩ දීම ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වූ අතර එවක මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම සබ්මැරීනයට හා යුද නැවට කොළඹ වරයට ඇතුළුවීමට අවසර දීම හේතුවෙන් එවක ජනපති මහින්ද රාජපක්ෂට තම තෙවන ධුරකාලය සඳහා පැවැත්වූ මැතිවරණයන් පරාජය වීමට හේතුවූ බවයි. ඇත්තෙන්ම මහින්ද පරාජය වෙනුවෙන් ඉන්දීය රෝ ඔත්තු සේවාව සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ බව රහසක් නොවේ. ඉන්දීය චීන ගැටුම් උග්‍ර වන විට එහි බලපෑම ලංකාවටත් කෙලින්ම බලපායි. දිල්ලි පාලනය මෙහෙයවන බ්‍රාහ්මණයන්ට අවශ්‍ය කොළඹ ආණ්ඩුව චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු දැකීමය. නමුත් අපට එසේ කළ නොහැකිය. අප දෙපාර්ශ්වයම සමග යහපත් සබඳතා පැවැත්විය යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment