ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස පළමු ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 34 කින් පරදී

140

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අසරණ වූ ශ්‍රී ලංකා පිතිකාරිනියෝ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් ක්‍රියාත්මක වූ පළමු විස්සයි විස්ස තරගයේදී ඊයේ (23 වැනිදා) ලකුණු 34 ක පරාජයක් ලැබීය. ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ලකුණු 138ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 104කට සීමා කර දැමීමට ඉන්දීය පන්දු යවන්නියෝ ඊයේ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය එක් ලකුණකට සීමා කරමින් විශ්මි ගුණරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දීප්ති ශර්මා සමත් වූවාය. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ මුලු ලකුණු 27දී රාධා යාදව් විසින් පිළිවෙළින් චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවීගේ කඩුලු දවා ගනිමින් තරගයේ පාලනය ඉන්දීය කණ්ඩායම දෙසට හරවා ගැනීමට සමත් වූවාය.

චමරි අතපත්තු හතරේ පහර 2ක් සමගින් පන්දු 19කදී ලකුණු 16ක් සහ හර්ෂිතා මාධවී පන්දු 17කදී එක් හයේ පහරක් සමගින් ලකුණු 10ක් ලබා සිටියාය.

හුදෙකලා සටනක නිරත වූ කවීෂා දිල්හාරි ඊයේ පන්දු 45කදී ලකුණු 47ක් රැස් කිරීමට සමත් වූවාය. එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ලට අමා කාංචනා සමගින් එක්වී ලකුණු 32ක සම්බන්ධතාවයක් දියත් කිරීමට ද ඇය සමත් වූවාය.

අමා කාංචනා ලකුණු 11ක් ලබා සිටියදී ෂෆාලි වර්මාගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට රීචා ගොෂ් සමත් වූවාය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම දියත් කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 138ක් රැස් කළාය.

ඉන්දීය පළමු කඩුල්ල මුළු ලකුණු 17දී බිඳ දැමීමට ඕෂධී රණසිංහ සමත් වුවද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සම්බන්ධතාවක් දියත් කරමින් ඉනිම ස්ථාවර කිරීමට ෂෆාලි වර්මා සහ හර්මන්ප්‍රීට් කෟර් සමත් වූවාය. එහිදී පන්දු 31කදී ලකුණු 31කින් ඉන්දීය ඉනිම සැරසීමට ෂෆාලි වර්මා සමත්වෙද්දී පන්දු 20කදී ලකුණු 22ක් රැස් කිරීමට හර්මන්ප්‍රීට් සමත් වූවාය.

ඉන්දීය ලකුණු පුවරුව තරගයක් දිය හැකි ලකුණු පුවරුවක් බවට පත් කළ ජෙමිමා රොද්‍රිගෝස් පන්දු 27කදී නොදැවී ලකුණු 36ක් රැස් කළේ හයේ පහර 1ක් සහ හතරේ පහර 3ක්ද සමගිනි.

ඉනෝකා රණවීර ලකුණු 30කට ඉන්දීය කඩුලු 3ක් බිඳ දැමීය.

ලකුණු සාරාංශය –

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 138යි (ෂෆාලි වර්මා 31, හර්මන්ප්‍රීට් කෟර් 22, ජෙමිමා රොද්‍රිගෝස් (නොදැවී) 36, දීප්ති ෂර්මා (නොදැවී) 17, ඉනෝකා රණවීර 30/3, ඕෂදී රණසිංහ 22/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 104යි (කවීෂා දිල්හාරි (නොදැවී) 47, චමරි අතපත්තු 16, රාධා යාදව් 22/2)

advertistmentadvertistment
advertistmentadvertistment