ඉන්ධන අවසන් වුණොත් විදුලිය කැපීම හැර විකල්පයක් නෑ – ලංවිම කියයි

210

විදුලි උත්පාදන කටයුතු නතරව තිබූ තාප බලාගාර තුනකට අවශ්‍ය ඉන්ධන ලැබීමත් සමග ඒවායේ විදුලි නිෂ්පාදනය ආරම්භ කර තිබුණත් තවත් දින දෙක තුනකින් ඒවා නතර වීමෙන් විදුලිය කපාහැරීමක් කි‍්‍රයාත්මක කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

කැලණිතිස්ස ජී. ටී. – 7 (මෙගාවොට් 110), කැලණිතිස්ස ද්විතව චකී‍්‍රය බලාගාරය (මෙගාවොට් 165), සපුගස්කන්ද ඩිසල් බලාගාරය (මෙගොවොට් 168) මේ වනවිට යළි කි‍්‍රයාත්මක කර ඇත. නමුත් මෙම බලාගාරවලට අවශ්‍ය ඞීසල්, දැවිතෙල් හා නැප්තා ඇත්තේ දින දෙක තුනකට යැයි විදුලි ඉංජිනේරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතාගෙන් විමසූ විට ඒ මහතා ද කියා සිටියේ දින දෙක තුනකට සෑහෙන ඉන්ධන ප‍්‍රමාණයක් තිබෙන බවයි. නමුත් ඒවා අවසන් වූ පසු අලූතින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන

ලබාගැනීමට නොහැකි වුවොත් විදුලිය කපාහැරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඒ මහතා කීය.

යෝජිත සාම්පූර් ගල්අඟුරු බලාගාරය 2014 වසරේදී ඉදිකළේ නම් 2020 වසරේදී ඉන් මෙගාවොට් 500 ක් ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකියාව තිබිණි. යහපාලන ආණ්ඩුව 2015 දී එම බලාගාර ඉදිකිරීම නතර කර දැමීය.

මීට අමතරව කෙරවලපිටිය ස්වභාදනවි එල්. එන්. ජී. බලාගාරය 2017 වසරේ ආරම්භ කළේ නම් 2021 දී ඉන් මෙගාවොට් 350 ක් ජාතික විදුලි පද්ධතියට එක්වීමට තිබූ බව ද කුමාරවඩු මහතා සඳහන් කළේය.

ඒ ඒ ආණ්ඩු හා නිලධාරීන් නිසි පරිදි තීරණ ගෙන යෝජිත බලාගාර ඉදිකළේ නම් මේ වනවිට විදුලි අර්බුදයක් රට තුළ නැතැයි ද ඒ මහතා කීය. ඒ නිසා දැන්වත් නිවැරදි තීරණ ගෙන කි‍්‍රයාත්මක නොකළහොත් අනාගතය ද අඳුරු වන බව කුමාරවඩු මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment