ඉන්ධන ඉල්ලා ගල්කුලමේදී ‘ඒ නවය’ හරස් කර විරෝධතාවයක්

60

මාර්ගය විවෘත කිරීමට පොලිසි දැඩි උත්සහයක් ගනී

උදෑසන සිට ඉන්ධන රැගෙන යෑමට පැමිණි ජනතාව ඉන්ධන ඉල්ලා ගල්කුලම ඉන්ධන පිරවුම්හල අසල දී ‘ඒ නවය’ මාර්ගය හරස් කර ඊයේ (15) දහවල් විරෝධතාවයක නිරත වූහ.

පැය එක හමාරකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතාව නිසා පොසොන් වන්දනාවේ පැමිණ බැතිමතුන්ද දැඩි පීඩවට පත්ව සිටියහ. එසේම දිගු රථවාහන පෝලිමක්ද නිර්මාණය වී තිබිණ. ගල්කුලම ඉන්ධන පිරවුම්හලේ ඊයේ (15) උදෑසන සිට පෙට්‍රල් ලබාදීම සිදු කර ඇති අතර ප.ව. 1.00 පමණ වනවිට පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බැව් පැවසීමත් සමඟ තෙල් ලබාගැනීමට දිගු වේලාවක් තිස්සේ රැඳී සිටි ජනතාව ඒ නවය මාර්ගය ගල්කුලමේදී හරස් කර විරෝධතාව ක්‍රියාත්මක කළහ. ඉන්ධන තොග සඟවාගෙන ඉන්ධන නොමැති බව පවසා ජනතාව අතරමං කළ බව විරෝධතාකරුවෝ පැවසූහ.

පසුව විරෝධතාව ආරම්භ කර මිනිත්තු විස්සකට පමණ පසු තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා පැමිණීමත් සමඟ මාර්ගය හරස් කර කිසිවෙකුටත් විරෝධතා දැක්විය නොහැකි බවත්, කරුණාකර මාර්ගය විවෘත කරන්නැයි කළ ඉල්ලීමත් සමඟ රථවාහන ගමන් කිරීමට නොහැකි වන සේ මාර්ගය මත වැතිරෙමින් තරුණයකු සිය විරෝධතාව පල කළහ. එහිදී ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හට දැවැන්ත විරෝධයක් ජනතාවගෙන් එල්ල විය.

පසුව අනුරාධපුර උසස් පොලිස් අධිකාරිවරයෙකු පැමිණ මාර්ගය විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාව උණුසුම්කාරි තත්ත්වයක් හට ගැනිණ. එම නිලධාරියා රථවාහන ගමන් කරවීමට උත්සාහ ගැනීමත් සමඟ යළි ආවේග වූ තරුණයකු ලොරි රථයක් මත නැගී සිය විරෝධය පල කළහ. අනතුරුව විරෝධතාකරුවන්ගෙන් කීපදෙනෙකු හට ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ටැංකි පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දුන් පොලිස් නිලධාරීන්, ටැංකිවල ඉන්ධන නොමැති බව තහවුරු කිරීමෙන් පසු විරෝධතාව අවසන් කෙරිණි.

ඒ නවය මාර්ගය භාවිත කරමින් පොසොන් වන්දනාවේ පැමිණි බැතිමතුන්ගේ රැගත් බස් රථය ඇතුළු විශාල රථවාහන ප්‍රමාණයක් පැය එකහමාරකට ආසන්න කාලයක් මාර්ගයේ නැවතී සිටීමට සිදු විය. ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දී ඉන්ධන ටැංකි පරීක්ෂා කිරීම විරෝධතාව ආරම්භයේ දී ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නම් මගීන් හා වන්දනාකරුවන් පීඩාවට පත් නොවන බව ද විරෝධතාකරුවන් පැවසූහ.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment