ඉන්ධන – ඖෂධ – පෝෂණ ආහාර නැතිව මෙරට ජනගහනයෙන් ලක්ෂ 60 ක් අධි අවදානම්!

196

බෝ නොවන රෝගීන් ලක්ෂ 30 ක් අවුරුදු 5 ට අඩු දරුවන්
ලක්ෂ 15 ක් ගර්භණී මවුවරුන් ලක්ෂ 3 ක් ඒ අතර

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර

ඉන්ධන අර්බුදය, ඖෂධ, උපකරණ හිඟය සහ පෝෂණ ආහාර ලබා ගැනීමේ දැඩි අපහසුතා නිස මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටක පමණ පිරිසක් අධි අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම රට තුළ පවතින උද්ධමනය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ළමා සෞඛ්‍ය, ගර්භණී මාතාවන්ගේ පෝෂණය සහ සෞඛ්‍ය මෙන්ම බෝ නොවන රෝග ඇති පුද්ගලයන්ගේ සෞඛ්‍යය ද බරපතළ පිරිහීමකට ලක්ව ඇතැයි ද ලේකම්වරයා ඊයේ (01 දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. රජය වහාම පියවර නොගතහොත් තත්ත්වය තවත් බරපතළ වෙයි. ඉන්ධන අර්බුදය නිසා රෝගීන් රෝහල් කරා පැමිණීම අඩු වී තිබෙනවා. නමුත් ඉන් අදහස් වෙන්නේ රෝගීන් අඩු වූ බවක් නෙවෙයි. අපේ රටේ මාසිකව ලක්ෂ 25 – 30 ක් පමණ බෝ නොවන රෝගයන්ගෙන් පෙළෙනවා. දියවැඩියාව, හෘද රෝග රෝගීන්ට ඖෂධ ලබාගත නොහැකි තත්ත්වයක් තිබෙනවා. අවුරුදු

05 ට අඩු දරුවන් ලක්ෂ පහළොවක් පමණ මාසිකව රට පුරා සායන වෙත යොමු වෙනවා. දැන් සායන පැවැත්වීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොමු නොවන තත්ත්වයක් නිර්මාණය වෙලා. ඒ ඉන්ධන අර්බුදය නිසා. මෙය ළමා සෞඛ්‍යයට බරපතළ බලපෑමක් ඇති කරනවා.

ගර්භණී මාතාවන් වසරකට ලක්ෂ 03 ක් පමණ බිහි වෙනවා. මේ තත්ත්වය ඔවුන්ටත් ඉතාමත් නරක ලෙස බලපා තිබෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය දුර්වල වෙනවා. මන්දපෝෂණය, ඌනතා රෝග ගර්භණී මාතාවන්ට දැඩි බලපෑම් ඇති කරවනවා. අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහළ යෑම තුළ අවශ්‍ය පෝෂණය ලබා ගැනීම විශාල ගැටලුවක්ව පවතිනවා. මේ උද්ධමන තත්ත්වය නිසා විශාල පීඩාවකට ලක්ව ඇත්තේ ගර්භණි මාතාවන් සහ ළමුන්. මෙය අනාගත ප්‍රෝටීන් සහ විටමින් ඌනතාවන් ඇති කරවන තත්ත්වයක්. අද හෘද රෝගීන් පහළොස් දහසක් පමණ සැත්කම් වෙනුවෙන් පොරොත්තු ලේඛනයේ පෙළගැසී සිටිනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment