ඉන්ධන  කළු කඩයකට ඉඩ සැලසීම…

318

මේ දිනවල වඩාත්ම උග්‍ර වී ඇති ඉන්ධන අර්බුදය හමුවේ ජනජීවිත අති දුෂ්කර තත්ත්වයට පත් වී ඇත. රටම සැලකිය යුතු දුරකට ලොක්ඩවුන් වී ඇත. ආර්ථික කටයුතු අඩපණ වී තිබේ. ඉන්ධන නැත්තටම නැති වී අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කර ඇත. එසේ වෙනතුරු ආණ්ඩුව සහ විෂය භාර ඇමැතිවරයා සහ අදාළ නිලධාරීන් කළේ කුමක්ද? කටාර් රාජ්‍යයට ගොස් ඉන්ධන ගැනීමට සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට සිහි වූයේ ඉන්ධන නැත්තටම නැති වී ජනජීවිත මේසා දුෂ්කර තත්ත්වයට පත් වීමෙන් පසුව ද? ඇත්තවශයෙන්ම බලධාරීන් මොනවා කීවත් අප නම් සිතන්නේ වාහන ධාවනය පසුගිය කාලයේ අඩු වූ බවයි. ඒ අනුව රටේ ඉන්ධන භාවිතය (පරිභෝජනය) අඩු වී ඇති බවයි. එහෙත් තෙල් ඉල්ලුම වැඩි වී තෙල් වාහනවලට පුරවා ගැනීම (විශේෂයෙන් ත්‍රීවීල්වලට) නම් වැඩි වූ බව සත්‍යයකි. ඉන්ධන බෙදීමේ ක්‍රමවේදය රටේ කාලයක් තිස්සේ ඩොලර් හිඟයක් ඇති බව සත්‍යයකි. එහෙත් රටේ පැවති සීමිත ඉන්ධන ප්‍රමාණය හෝ ඉන්ධන අවශ්‍ය අයට සාධාරණ ලෙස බෙදීමේ කිසිම ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබිණි. මේ හේතුවෙන් අද වන විට ඉන්ධන කළු කඩයක් නිර්මාණය වී ඇත. එයට ඉඩ සැලසුවේ රජයම නොවේ ද? එනම් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ තෙල් සංස්ථාව විසින් කිසිදු සාර්ථක ක්‍රමවේදයක් තෙල් බෙදීම සඳහා ක්‍රියාත්මක කිරීමට මේ දක්වා අසමත් වූ බැවින් ඉන්ධන තොග රැස් කිරීමට සහ ඒ හරහා ඉන්ධන කළු කඩයකට ද ඉඩ සැලසිණි. එසේ ඉන්ධන රැස් කිරීමට ඉඩ දී ඒවා ආරක්ෂක අංශ විසින් අල්ලනවාට වඩා මුල සිටම කළ යුතුව තිබුණේ ඉන්ධන බෙදන සාධාරණ (සලාක) ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. ඒ සඳහා බොහෝ යෝජනා ද ඉදිරිපත්ව තිබේ. එහෙත් ඒ කිසිවක් ක්‍රියාත්මක වී නැත. පසුගිය කාලයේ යම් ඉන්ධන පිරවුම් හලකට ඉන්ධන බවුසරයක් පැමිණි විට එම ඉන්ධන ප්‍රමාණය පැය කිහිපයකින් අවසන් වී පෝලිමේ පැය ගණන්, දවස් ගණන් දුක් විඳින බොහෝ දෙනෙකුට ඉන්ධන ටිකක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූයේ ඉන්ධන බෙදීමට සාධාරණ ක්‍රමවේදයක් නොමැති වූ නිසාය. ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු දුරකට අවභාවිතයට ලක් වූ නිසාය. ටෝකන් ලබා දීමත් බොරු අසාර්ථක වැඩකි. ඇතැම් අය ෂෙඩ් කිහිපයකින් ටෝකන් දෙක තුනක් ද දැනටමත් ලබා ගෙන ඇත. ඒ නිසා බොරු පැලැස්තර දාන්නේ නැතුව මේ සඳහා ජනයා තවත් පීඩාවට පත් නොකර හරිහමන් ක්‍රමයක් (සිස්ටම් එකක්) ක්‍රියාත්මක කරන ලෙස අපි කංචන විජේසේකර ඇමැතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු. මාධ්‍ය හමුවකට පැමිණ තිබෙන ප්‍රශ්නය ගැන ඇතිතරම් කයිවාරු ගසා වැඩක් නැත. අවශ්‍ය වන්නේ විසඳුම් ය. මේ දක්වා නම් කංචන විජේසේකර ඇමැතිවරයා අසාර්ථක වී ඇති අතර මෙවැනි ඉන්ධන බෙදීමේ ක්‍රමවේදයක් සකස් නොකිරීමේ විපාක නිසා විශාල ඉන්ධන ප්‍රමාණයක් ඇතැමුන් රැස්කරගෙන ඇත. එනම් රටේ ඉන්ධන පරිභෝජනය (ඉන්ධන භාවිතය) වැඩි වී නැති බව අපි නැවතත් කියා සිටිමු. සිදුව ඇත්තේ ඉන්ධන බෙදීම අවභාවිතයට ඉඩ දෙමින් ඉන්ධන කළුකඩයකට ඉඩකඩ සලසා දීමයි. එයට රජය මුළුමනින්ම වගකිව යුතුය. එනිසා දැනට ඉදිරිපත්ව ඇති යෝජනා සලකා බලා ඉන්ධන බෙදා දීමේ හොඳ ක්‍රමවේදයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. මෙහිදී මහ බැංකුවේ හිටපු සහකාර අධිපති සේපාල රත්නායක මහතා ද මේ ප්‍රශ්නය ගැන කිසියම් අධ්‍යනයක් කර හොඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු බලධාරීන්ට ද ඒ මහතා විසින් ඉදිරිපත් කර ඇත. එහෙත් මේ බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවී බීරි අලින්ට වීණා වයන්නාක් මෙන් නිහඬව සිටින්නේ ඇයි? ඔහු දැනට පවතින පෝලිම් තත්ත්වය නිසා ඇතිවෙන අහිතකර බලපෑම් මෙන්ම ඉන්ධන සහ විදුලිය නොලැබීමෙන් වන අහිතකර බලපෑම් ද පැහැදිලි කර දී මේ ඉන්ධන සහ විදුලි සැපයුම සැලසුම් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ. ඔහු ප්‍රධාන වශයෙන් පෝලිම් තත්ත්වය නැතිකරගෙන ප්‍රමුඛතා අංශවලට ද ඉන්ධන සැපයුම සහතික කරගත හැකි ඉන්ධන කාඩ්පත් ක්‍රමයක් යෝජනා කර ඇත. මේ ගැන වහාම බලධාරීන්ට අවධානය යොමු කළ හැකිය.

 දුෂ්කර කාලයෙන් අති දුෂ්කර කාලයට

 පසුගිය ජුනි 22 වැනිදා මේ ලියුම්කරුගේ ‘ආර්ථික ඇසින්’ ලිපියේ සිරස්තලය වූයේ ‘දුෂ්කරම කාලය අද නොවේ හෙට’ යන්නයි. මේ අනුව හෙට දිනය උදා වූ පසු මේ ප්‍රකාශයට අනුව දුෂ්කරම කාලය අද නොවේ හෙටය. ඒ නිසා මෙහි අර්ථය අපට සෑහෙන කාලයක් දුෂ්කර කාලයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජුනි 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු කියා සිටියේ ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාලයක් වන බවයි. මේ නිසා අප සියලු දෙනාම ඉන්ධන සහ ගෑස් පරිභෝජනය පරිස්සමෙන් කළ යුතු කාලයක් බව ද තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස් කර ගැනීමෙන් වළකින ලෙස තමා සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ද අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. එසේම ඉදිරි සති තුනෙන් පසු ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව බෙදා හැරීමට වෙහෙසෙන බව ද ඔහු සඳහන් කර තිබිණි. අගමැතිවරයා ඒ ප්‍රකාශය කළ දින සිට ඊයේ (29) දිනට සති තුනක කාලයක් සම්පූර්ණ විය. එහෙත් දැන් සිදු වී ඇත්තේ කුමක් ද? ඔහු කී සති තුනේ දුෂ්කර කාලයෙන් පසු දැන් අප මුහුණ දී සිටින්නේ ඊටත් වඩා අති දුෂ්කරම කාලයකටය. ඉන්ධන සහ ගෑස් නැත්තටම නැත. සිපෙට්කෝ ෂෙඩ්වලින් ඉන්ධන වෙනුවට දෙන්නේ ටෝකන් ය. එනම් පෙරේදා (28) සිට ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කළ අතර පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබා දීම නතර කර ටෝකන් ලබා දෙන බව ප්‍රකාශ කරන ලදි. මේ නිසා බොහෝ දුරට පොදු ප්‍රවාහනය ද අඩාළ වී ඇත. පෞද්ගලික වාහන ධාවනය අඩු වීමෙන් ඒවායේ ගමන් කළ පිරිසක් ද දැන් අලුතින් පොදු ප්‍රවාහනයට එක්වීමෙන් (විශේෂයෙන් දුම්රියේ) මගී තදබදය විශාල ලෙස වැඩි වී ඇත. ඒ නිසා බස් රියේ, දුම්රියේ ගමන් කිරීම ද මේවන විට ඉතාම දුෂ්කර මෙන්ම ඇතැම් විට ජීවිත අවදානමක් පවා ගෙන දෙන අමාරු කාර්යයක් වී ඇත. අගමැතිවරයා කියා සිටි සති තුනෙන් පසු උදා වී ඇත්තේ මෙවැනි තත්ත්වයකි. රජය කියන ජුලි 10 දිනෙන් පසුව හෝ මේ තත්ත්වය සමනය වේද යන්න සැක සහිතය.

 ආර්ථික වර්ධනය – 1.6%‍ යි

 මේ වසර (2022) අපගේ ඉතිහාසයේ නිදහසෙන් පසු වැඩිම ආර්ථික පසුබෑම වාර්තා කරන වර්ෂය වනු ඇති බව පැවසේ. රටේ ඇති තත්ත්වය අනුව එය පුදුමයට කරුණක් ද නොවේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ වසරේ (2022) පළමු කාර්තුවේ ආර්ථික වර්ධන දත්ත පෙරේදා (28) නිකුත් කළේය. මේ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2021 වර්ෂයේ පළමු කාර්තුවේ දී වාර්තා වූ සියයට 4.0 ක වර්ධනය හා සසඳන විට පසුබෑමට ලක්වෙමින් සියයට 1.6 කින් සංකෝචනය වී ඇත. එනම් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 3ල519ල921 සිට 2022 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී රුපියල් මිලියන 3ල463ල101 ක් දක්වා අඩු වී ඇත. 2021 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 වර්ෂයේ පළමු කාර්තුව තුළ කෘෂිකාර්මික හා කාර්මික අංශවල වර්ධන වේගයන් පිළිවෙළින් සියයට 6.8ක් හා සියයට 4.7ක් ලෙසින් පසුබෑමට ලක් වී ඇත. සේවා අංශය පමණක් සියයට 0.7ක සුළු වර්ධන වේගයක් ළඟා කරගෙන ඇත.

 කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගත කළ දුෂ්කර කාලය නිසා පහත වැටුණු ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් තිබුණත් අප මුහුණ දුන් විදේශ විනිමය අර්බුදය හමුවේ අපේ ආර්ථිකයට බලවත් අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුව තිබේ. උද්ධමනය වර්ධනය වීම, රුපියල අවප්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදෙස් ප්‍රේෂණ පහත වැටීම හා සංචාරක ආදායම් බිඳ වැටීම වැනි සාධක රැසක ප්‍රබල බලපෑමට ආර්ථිකයට මුහුණ දීමට සිදුවිය. මේ හේතුවෙන් 2022 පළමු කාර්තුව තුළදී අපේක්ෂිත ලෙස ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අපොහොසත් වී ආර්ථිකය ඍණ තත්ත්වයට පත්ව ඇත. දැනට රටේ තිබෙන වාතාවරණය අනුව ඉදිරි කාර්තු තුනේ දී මීට වඩා වැඩි ආර්ථික පසුබෑමකට ආර්ථිකයට මුහුණ දීමට සිදුවනු ඇත. 2022 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ ද කියයි.

 ‘මෙම කාල පරිච්ජේදය තුළ පැවති රසායනික පොහොර හිඟය සෘජුව කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්‍රමුඛ බලපෑමක් ඇති කරන ලද අතර මෙරට ප්‍රධාන ආහාරය වන වී වගාවෙහි සැලකිය යුතු පසුබෑමක් මෙම කාර්තුව තුළ වාර්තා විය. එසේම 2015 සිට මේ දක්වා පළමු කාර්තුව සඳහා කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල වාර්තා වූ ඉහළම පසුබැස්ම ද මෙම කාර්තුව තුළ සටහන් විය. ඉන්ධන ආනයනයට මතු වූ විවිධ බාධා හේතුවෙන් බොහෝ නිෂ්පාදන, ඉදිකිරීම් හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාළ වූ අතර සමස්තයක් ලෙස කාර්මික අංශය ද සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත’.

 කෘෂිකර්මික ආර්ථික කටයුතු

 2021 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී සියයට 6.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබූ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2022 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී සියයට 6.8ක සැලකිය යුතු පසුබැසීමක් වාර්තා කර ඇත. ඒ සඳහා මූලික වශයෙන්ම කෘෂි බෝග වගාකිරීම් සඳහා අවශ්‍ය රසායනික පොහොර සපයාගැනීමේ ගැටලු බලපා ඇති බව පෙනෙන බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. මේ කෘෂිකර්ම අංශයේ පසුබෑම නිසා බොහෝ උප කෘෂිකර්මාන්ත කටයුතුවල පසුබැසීමක් වාර්තා කොට ඇත . ඒ අනුව වී වගා කිරීම (සියයට 33.8), තේ වගා කිරීම (සියයට 15.0), රබර් වගා කිරීම (සියයට 13.1), ධාන්‍ය වගාකිරීම (සියයට 9.4), එළවළු වගා කිරීම (සියයට 8.4), සහ පලතුරු වගා කිරීම (සියයට 3.8) ආදී වශයෙන් මෙම ප්‍රධාන කෘෂි ආර්ථික කටයුතුවල සංකෝචනයන් එනම් ඍණ වර්ධනයන් වාර්තා කොට ඇත. මේ අතර පොල් වගා කිරීම සහ පැළ වගා කිරීම යන කෘෂිකර්මාන්ත කටයුතුවල පිළිවෙළින් සියයට 16.7ක සහ සියයට 30.3ක වර්ධනයන් වාර්තා කොට ඇත. කරදිය ධීවර කර්මාන්තය සහ කරදිය ජලජීව වගාව සහ මිරිදිය ධීවර කර්මාන්තය සහ මිරිදිය ජලජීව වගාව යන ධීවර නිෂ්පාදන කටයුතු පිළිවෙළින් සියයට 0.5 සහ සියයට 9.3 ලෙස ඇතිවූ පහළ යෑමද සමස්ත කෘෂිකර්මාන්ත අංශය සියයට 6.8 ක සැලකිය යුතු මට්ටමකින් පසුබැසීමට හේතුවී ඇත.

 කර්මාන්ත ආර්ථික කටයුතු

 2022 පළමු කාර්තුවේ දී සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 4.7 කින් සැලකිය යුතු මට්ටමේ පසුබැසීමක් වාර්තා කර ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ නිෂ්පාදන කර්මාන්ත සහ ඉදිකිරීම් කර්මාන්තයේ ඇතිවූ සංකෝචනයන් ය. 2021 වර්ෂයේ පළමුවන කාර්තුවට සාපේක්ෂව 2022 වර්ෂයේ පළමුවන කාර්තුවේ සමස්ත නිෂ්පාදන කර්මාන්ත සියයට 6.9 කින් පසුබැසීමට ලක් වී ඇත. නිෂ්පාදන කර්මාන්ත යටතට ගැනෙන සියලුම උප නිෂ්පාදන කටයුතු මෙම කාර්තුවේදී පසුබැසීම් වාර්තා කොට තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඒ අතර අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදනය (සියයට 24.3), රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන (සියයට 16.0), ගෘහ භාණ්ඩ නිෂ්පාදනය (සියයට 13.0) හා මූලික ලෝහ නිෂ්පාදනය (සියයට 10.4) යන උප අංශ පසුබෑමට ලක්වූ ප්‍රධාන අංශ වේ.

 මේ නිසා අප හැකිතාක් උත්සාහ ගත යුත්තේ පවතින ඉන්ධන සහ විදුලි කප්පාදුව අවම කර ගනිමින් ආර්ථික කටයුතු අඩපන වීම හැකිතාක් අවම කර  ගැනීමටය. එසේ නැතහොත් මේ සමස්ත වර්ෂයේ ආර්ථිකය සංකෝචනය වීම තවත් වර්ධනය වනු ඇත. එහිදී ඉන්ධන බෙදීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීම හදිසි අවශ්‍යතාවකි.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment