ඉන්ධන – ගෑස් – විදුලි අර්බුද විසඳා ජනයාට සහන දෙනවා

178
  • ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ

ඉන්ධන, ගෑස් ප‍්‍රශ්නය වගේම විදුලි අර්බුදයත් අවසන් කර ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය කි‍්‍රයාත්මක කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කීවේය.

පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටිනවා. මේ අර්බුදය පිළිබඳව මහානායක හිමිවරුන්, දේශපාලන පක්‍ෂ විසින් සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පෙරේදා (23 දා) පක්‍ෂ 17 ක සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් පැවැත්වූවා. මෙම සමුළුවේදී හොඳ යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා. ඒ බදු ක‍්‍රමයේ සංශෝධනයක්, අනවශ්‍ය වියදම් කපා හැරීම, නව අයවැයක් ගෙන ඒම, ජනතාවට සහන සැලසීමට යෝජනා ගණනාවක් කළා. ඒ සියල්ල කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. මේ ගැන සෘජුව අධීක්‍ෂණය කිරීමට.

එදින සුළුවට නොපැමිණි දේශපාලන පක්‍ෂ නැවත කැඳවන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා. එදින සමුළුවට සහභාගි වූ පක්‍ෂ වෙනම ජනාධිපතිවරයා හමුවීමට ඉල්ලීම් කර තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡුා කිරීමට ඒ සඳහාත් ජනාධිපතිවරයා අවස්ථාව වෙන්කරදී තිබෙනවා. මෙවැනි තීරණාත්මක අවස්ථාවක සර්ව පාක්‍ෂික සමුළුවට පැමිණ ලබාදුන් සහයෝගය පිළිබඳව එම දේශපාලන පක්‍ෂවලට අපේ ස්තුතිය පිරිනැමෙනවා.

සමගි ජනබලවේගයට, ජනතා විමුක්ති පෙරමුණට හා රජය නියෝජනය කළ වාමාංශික බලවේගවලටත් අපි නැවත ඇරයුම් කරනවා ඊළඟ සමුළුවට සහභාගි වන ලෙසට. අපි රටක් හැටියට සියලූ දෙනා එකට මුහුණ දිය යුතුයි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ජනතාව පාරට බස්සලා, උද්ඝෝෂණ කර පෙළපාලි පැවැත්වීම නොවෙයි කළ යුත්තේ. සියලූ දෙනා එකට එක්ව ඉදිරිපත්කරන අදහස් යෝජනාවලින් රට ගොඩනැඟීමට සහය දීමයි.

මේ මස අවසන් වන විට ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් සමථයකට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. ගෑස් ගෙන ඒමට එක නැවක් සඳහා මිලියන 5000 ක් පාඩු ලබනවා. රජයේ ගෑස් සමාගම මිල වැඩිකළේ නෑ. ජනතාව මත බර පටවන්නේ නැතුව පාඩුව විඳ දරාගෙන ජනතාවට ගෑස් ලබාදෙනවා. එළඹෙන අලූත් අවුරුද්දට පෙර ජනතාව මේ අර්බුදයෙන් මුදාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. මේ අර්බුදයෙන් මිදීමට ජනාධිපතිවරයා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. මේ සඳහා 50 දෙනකුගෙන් යුත් සංචිතයක් සකස් කර තිබෙනවා. පාරිභෝගිකයාට අඩුවක් නොවන පරදි භාණ්ඩ ලබාදෙනවා.

ගෑස් ප‍්‍රශ්නය විසඳීමට ගෑස් නැව් පහක් ඇණවුම්කර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන්කරගෙන තිබෙනවා.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment