ඉන්ධන පෝලිමට ටටා කියා පාපැදියෙන් රෝහල් එන බදුල්ලේ දොස්තර මහත්වරු

285

දැනට වෛද්‍යවරු 20 දෙනෙක් පාපැදියෙන් රෝහල් එනවා

ඉන්ධන පෝලිමට ටටා කියා පාපැදියෙන් රෝහල් එන බදුල්ලේ දොස්තර මහත්වරු

අපේ ආර්ථිකයටත් හොඳයි… ඇඟටත් හොඳයි.. රටටත් වාසියි …
– වෛද්‍ය පාලිත රාජපක්ෂ

දැන් බොහෝ දෙනාගේ ලොකුම ඉල්ලුම ඇත්තේ යාන වාහන ධාවනයට ගන්නා ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් යනාදී ඉන්ධන පෝලිමේ නොගොස් පෙර පරිදි මිලට ගැනීමටය.

දැන් දැන් බොහෝ ඉන්ධන පිරවුම්හල් යුද පිටි බවට පත්ව තිබේ.

මේවන විට පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදීම ඉතාමත් නරක තත්ත්වයට පත්වී ඇත. ඉන්ධන ලබා දීමට දියත් කළ ටෝකන් ලබා ගැනීමට දිගු පෝලිම් නිර්මාණය වූ අතර ජනයා එහිදී කළකෝලාහල කර ගත් අයුරු දැක ගත හැකි විය. අවසානයේදී ටෝකන් බෙදීමත් මේ වන විට අහෝසි වී ගොස් ඇත.

සමස්ත රටම ඉන්ධන ප්‍රශ්නය ඉදිරියේ දැඩි ලෙස නොසන්සුන් වී ගිය අතර මේ වන විට පෝලිම්වල සිටි විවිධ වයස් කාණ්ඩවලට අයත් 17 දෙනකුට අධික පිරිසක් අවාසනාවන්ත ලෙස හදිසි රෝග සහ අනතුරු නිසා මිය ගොස් ඇත.

රථ වාහනවලින් ඉන්ධන සොරකම් කිරීම, අධික මිල ගණන්වලට අලෙවි කිරීම ඉන්ධන බව අඟවා ඇල් ජලය ඉහළ මිලකට අලෙවි කිරීම, මෙන්ම පෙට්‍රල් බව පවසා ප්ලාස්ටික බෝලවල දමා මුත්‍රා අලෙවි කිරීම වැනි සිද්ධින් ද පසුගිය දිනවලදී අසන්නට ලැබුණි.

හමුදා නිලධාරීන් සහ පොලිසියෙන් කරන පහරදීම් සහ වෙඩි තැබීම් ද ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සිදුවීම ඉතාමත් බේදජනක සිද්ධීන්ය.

ඉන්ධන අර්බුදය මොහොතින් මොහොත උග්‍ර අතට හැරමින් පවතී. අවමංගල්‍ය රථ, මංගල රථ, ගැබිනි මව්වරුන් ඉන්ධන පෝලිම්වල සිටින අයුරු විද්‍යුත් මාධ්‍ය වාර්තා කර සිටියි. මේ අතර මහජනයා සෙල්ලම් වාහන, ගවයින් ඉන්ධන පෝලිම්වල රඳවා තිබෙන හාස්‍ය ජනක දසුන්ද දුටුවෙමු. දිනෙන් දින අලුත් වන ඉන්ධන සම්බන්ධ පුවත් ඉතාමත් කනගාටුදායකය.

මේ අතර අසන්නට ලැබුණේ රටපුරා පාපැදි භාවිතය යළි ඇරඹුණු පුවත්ය. පරණ පාපැදි මෙන්ම අලුත් පාපැදිවලින් ගමන් බිමන් යන අයුරු දැක ගත හැකි විය. ඉන් වඩා වැදගත් සිද්ධියක් දකින්නට ලැබුණේ බදුල්ල ඌව පළාත් මහ රෝහල් පරිශ්‍රයේදීය. ඔවුන් තම වටිනා සුඛෝපභෝගි පෞද්ගලික වාහනවලින් රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරු පිරිසක් ඉන්ධන පෝලිමට නොගොස් පාපැදිවලින් සේවයට එමින් සිටිති.

රටේ කාටත් ආදර්ශයක් දෙමින් කර ගෙන යන එම ක්‍රියාව සම්බන්ධයෙන් එම වෛද්‍යවරු මෙසේ පවසති.

ඉන්ධන පෝලිමට ටටා කියා පාපැදියෙන් රෝහල් එන බදුල්ලේ දොස්තර මහත්වරු

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ බදුල්ල ඌව පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා-

අපේ රෝහලේ විශේෂඥ වෛද්‍ය සේනක ගුණතිලක මහතා තමයි ඉන්ධන අර්බුදය එන්න කලිනුත් පාපැදියෙන් රෝහලට ආවේ ගියේ. වාහනවලට පෙට්‍රල් ලබා ගැනීමේ ප්‍රශ්නය ආවාම තවත් සමහර වෛද්‍යවරුත් පාපැදියෙන් යන්න එන්න පටන් ගත්තා. කි.මී. 1 ක් 2ක් දුර ඉන්න වෛද්‍යවරු දැනට 20 දෙනෙක් පමණ පාපැදියෙන් රෝහලට එන්නේ. එය තමන්ගේ ආර්ථිකයට මෙන්ම රටටත් වාසියක් තියෙනවා. තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි. රෝහලේ සෙසු කාර්ය මණ්ඩයක් මෙම වැදගත් කාර්යට දායක වේවි කියලා හිතෙනවා.

විදේශවල නායක නායිකාවන් අපේ රටේ මෙන් නොව දුම්රියෙන් බසයෙන් නොව පාපැදිවලින් තම ගමන් බිමන් යන ආකාරය අපට කොතරම් පූර්වාදර්ශයක් වේද. රටේ නායකයන් නොව බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් මෙන් රටට බරක් නොවී සරල ජීවිතයක් ගත කිරීමට රට වැසි සැමදෙනා පියවර ගත යුතු කාලයයි මේ.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment