ඉන්ධන පෝලිම්හි සිදුවන මරණවලට බලපාන හේතු

85

ඉන්ධන පෝලිම්වල සිටියදී මියගිය පුද්ගලයන් ගණන 26 ක් දක්වා පසුගිය සතිය වනවිට ඉහළ ගොස් තිබිණි. රට තුළ පවතින ඩොලර් අර්බුදය නිසා ඉන්ධන ආනයනය සම්බන්ධව පවතින ගැටලු නිසා මතු වූ මෙම ඉන්ධන පෝලිම් අවසන් වීමට මෙම වසර අවසාන වනතුරු දක්වා කාලයක් ගතවනු ඇතැයි රජයේ වගකිවයුතු මැති ඇමැතිවරු පවසති. එම කාලය වනවිට මෙලෙස ඉන්ධන පෝලිම්වල සිටියදී මිය යන සිද්ධීන් තව කොපමණ වාර්තා වේ දැයි කියා කිව නොහැකිය.

නමුත් මෙම ඉන්ධන පෝලිම්වලදී මිය යෑමට බලපා ඇති ආසන්න හේතු හඳුනා ගැනීම තුළින් සහ ඊට නිසි විසඳුම් ලබාදීම තුළින් එසේ මිය යන පිරිස ආරක්ෂා කරගත හැකිය.

වර්තමානයේ අප රටේ එක දිගට දින ගණනක් පවතින පෝලිම් බවට පත්ව ඇත්තේ ඉන්ධන පෝලිම්ය. මෙහි සමාජයේ සෑම තරාතිරකම පුද්ගලයෝ සිටිති. ඔවුන් සියලු දෙනාගේම අපේක්ෂාව තම රථ වාහනයට ඉන්ධන ලබා ගැනීමය. ඔවුන් එසේ රැඳී සිටින්නේ නොමිලයේ ඉන්ධන ලබා ගැනීමට නොව මුදල් ලබාදී ඉන්ධන ලබා ගැනීමටය. ඒ නිසා මෙම ඉන්ධන පෝලිම්වල සිටින කිසිවකුත් පෝලිමේ සිටින්නේ තමාගේ ආර්ථික දුෂ්කරතාවක් නිසා නොව රටේ පාලකයන්ගේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවන් නිසා මතු වූ ගැටලුවල ප්‍රතිඵලයක් ලෙසය.

මේ දක්වා ඉන්ධන පෝලිම්හි මියගිය පුද්ගලයන් දෙස විමසා බැලුවහොත් ඔවුන් වයස අවුරුදු 35 ත් 80 ත් අතර වියේ පසු වූවෝ වෙති.

එසේම මෙම මියගිය පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍ය දෙස විමසා බැලුවහොත් ඔවුන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග, අධික කොලෙස්ටරෝල් තත්ත්වය ආදී බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයෝය.

ඒ නිසා ඔවුන් බොහෝ දෙනෙක් මෙම රෝග පාලනය සඳහා ප්‍රතිකාර ලබති. තවත් පිරිසක් එම රෝග ඇතත් රෝග පාලනයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගනිති.

ඉන්ධන පෝලිම්හි සිදුවන මරණවලට බලපාන හේතු

මෙවැනි රෝග ඇති අය නිතර තම රෝග පාලනය සඳහා සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත රෝග පාලනයට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම, ආහාර පාලනය, ව්‍යායාමවල යෙදීම කළ යුතුය.

නිදි මැරීම, අධික තෙහෙට්ටුව, මානසික ආතතිය නිසා මෙම රෝග උත්සන්න වේ. ඒ නිසා ඉන් වැළකී සිටීමට පියවර ගත යුතුය.

මෙවැනි පුද්ගලයන් ඉන්ධන පෝලිමේ සිටිනවා නම් රෝග පාලනය සඳහා ලබා ගන්නා ඖෂධ ගැනීම ද අමතක නොකළ යුතුය. එසේම අනවශ්‍ය ලෙස සීනි අධික ආහාර වර්ග, බීම වර්ග නොගත යුතුය. මත්පැන් ගැනීම නොකළ යුතුය. නිදි වැරීම නොකළ යුතුය. පැය 03 ක්වත් අවම වශයෙන් නිදා ගැනීම කළ යුතුය.

එසේ නොවුණහොත් රුධිර සීනි මට්ටම ඉහළ ගොස් (Hyper glycemia) දියවැඩියා කෝමා (Diabetic Coma) ඇතිවිය හැකිය. එවිට හෘදයාබාධ ඇතිවීමේ ඉඩකඩ ද වැඩිය.

මීට අමතරව ඇතැම් පුද්ගලයන් ආහාරපාන ගැනීම සීමා කිරීම හෝ නොගැනීම නිසා රුධිර සීනි මට්ටම පහළ යා හැකිය (Hypoglycemia) එවිට ද තෙහෙට්ටුව, අධික වෙහෙස, ක්ලාන්ත බව වැනි තත්ත්වයන් මතු වේ.

ඒ නිසා මෙවැනි බෝ නොවන රෝග ඇති පුද්ගලයන් නිතරම තමා ළඟ රුධිර සීනි මනින ග්ලුකෝ මීටරයක් ළඟ තබාගෙන පැය 08 කටවත් වරක් රුධිර සීනි මට්ටම මැන බැලීම කළ යුතුය.

මානසික ආතතිය ඇති වූ විටදී ද ඇති වන හෝමෝන අසමතුලිත බව නිසා රුධිර සීනි මට්ටම ඉහළ යෑම, අධි රුධිර පීඩනය ඇති වීම ආදිය සිදුවිය හැකිය.

එබැවින් තමාගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින් ඉන්ධන පෝලිමේ සිටිනු හා සමානව තම ජීවිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනයට ද අවධානය යොමු කිරීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස සිදුවන මියයෑම් වළක්වා ගත හැකිය.

සකස් කළේ –
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment