ඉන්ධන පෝලිමේදී කඩු කිණිසිවලින් පහරදී අචිර පුතු බිලිගත් යක්ෂයෝ

836

තාත්තා ජයසිකුරු මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපුදද්දී පුතාට අවුරුද්දයි මාස දෙකයි
පුතා උපාධිධාරියෙක්… එයා කොතලාවල ආරක්ෂක පීඨයේ

උපාධි ප්‍රදානෝත්සවයට යන්නයි හිටියේ
එයාගේ අම්මා මියයන විට පුතාට අවුරුදු 17 යි

  • පුංචි අම්මා හඬමින් කියයි

අපට සෙවණ දෙන්න සිටිය මහා වෘක්ෂය මිනිස් වෙස්ගත් නොමිනිසුන් විනාශ කළා

ඉන්ධන පෝලිමේදී කඩු කිණිසිවලින් පහරදී අචිර  පුතු බිලිගත් යක්ෂයෝ

පුතා ගැන අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. පුතාට ඉහළට යන්න අපි ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි හිතාගෙන හිටියේ පුතා විශාල වෘක්ෂයක් වෙලා අපිට සෙවණක් දේවි කියලා. නමුත් මිනිස්වෙස් ගත් නොමිනිසුන් ඒ වෘක්ෂය සහමුලින්ම කපාදැම්මා යැයි මාගාල්ල අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ දී ඇතිවු ගැටුමේ දී මියගිය තරුණයාගේ පුංචිඅම්මා වන අම්බිකා උපමාලි මහත්මිය පැවසුවාය.

කඩු – කිණිසි හා තියුණු ආයුධවලින් පහරදීමෙන් මෙසේ ඝාතනය කොට ඇත්තේ උඩුමුල්ල, යටගල, වංචාවල ප්‍රදේශයේ පදිංචි ඩී. ඩබ්ලිව්. අචිර සාලින්ද (24) නමැති කොතලාවල ආරක්ෂක පිඨයේ උපාධිධාරියෙකි. මෙහිදී තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ. මාගාල්ල අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ තිබූ මෝටර් රථයකට ඉදිරියෙන් තවත් මෝටර් රථයක් ඇතුල් කිරීම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිගයෑමෙන් අචිර සාලින්දට සිය ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී තිබේ.

අම්බිකා උපමාලි මහත්මිය මෙසේද කීවාය.

මේ දරුවා පොඩි කාලයේ ඉඳලා පෙර පාසල් ගියේ මගේ ළඟ ඉඳලා. ඉගෙනීමට දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගයත් සමත්වුණා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. සාමාන්‍ය පෙළ විභාගයත් ඉහළින් සමත්වුණා. 2016 වර්ෂයේ දී උසස්පෙළ විභාගයට පෙනී ඉඳලා විෂයන් තුනට සම්මාන තුනක් ලබාගත්තා. පසුව කොතලාවල ආරක්ෂක පිඨයට ඇතුළත් වෙලා ඉගෙනගත්තා. උපාධිය ලබාගෙන තිබුණේ. උපාධි ප්‍රදානෝත්සවයට තමයි සහභාගිවෙන්න තිබුණේ. පුතාගේ තාත්තා රණවිරුවෙක්. ජයසිකුරු මෙහෙයුමේ දී 95 වර්ෂයේ දී ඔහු මියගියා. එතකොට පුතාගේ වයස අවුරුද්දයි මාස දෙකයි. 2015 වර්ෂයේ දී පුතා සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙලා උසස්පෙළ විභාගය සඳහා සුදානම් වෙමින් සිටියදී තමයි මව රිය අනතුරකට ලක්වෙලා මියගියේ. මව මිය යනවිට පුතාගේ වයස අවුරුදු 17යි. අම්මා නැතිවුනාට පසු මම තමයි පුතාගේ වගකීම ගත්තේ. පුතා පුද්ගලික ආයතනයක සේවය කරනවා. පෙරේදා (07 දා) තමයි නිවාඩු ලැබිලා ගෙදර ආවේ.. යැයි හැඬූකඳුළින් යුතුව කීවාය.

මියගිය තරුණයාගේ බාප්පාවන කේ. සමන්ත මහතා මෙසේ කීවේය.

මියගොස් සිටින්නේ මගේ නංගිගේ පුතා. ඔහු කොළඹ නගරයේ පුද්ගලික රෝහලක සේවය කරනවා. බලහත්කාරයෙන් කාර්එකක් තෙල් පෝලිමට ඇතුල්කිරීම නිසා කථාබහක් ඇතිවෙලා තියෙනවා. එම කාර් එකේ පුද්ගලයාගේ හිතවතුන් පිරිසක් කඩු කිණිසි අරගෙන ඇවිත් තමයි පුතාට පහරදීලා තියෙන්නේ.

පුතාගේ අයියා මේ අයට කෑම අරගෙන ඇවිත් තියෙනවා. ඒ අවස්ථාවේ ඔහුටත් කඩුවකින් පහරදීලා ගෙල තුවලා වෙලා රෝහලේ ප්‍රතිකාර ලබනවා. පුතාගේ තව මිතුරෙකුගේ අත කැපිලා ඔහුත් රෝහලේ. විස්සක් පමණ පිරිසක් ඇවිත් පුතාට පහරදීලා. මම එම ස්ථානයට යනවිට වැටිලා හිටිය පුතා ලොරියකින් රෝහලට අරගෙන ගිහින්. රෝහලට රැගෙන යනවිටත් පුතා මියගිහින් යැයි සමන්ත කීවේය.

තෙල් පෝලිමක සිදුවු පළමු ඝාතනය මෙය වන අතර මෙකී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුදගලයා ඝාතනය කිරීම සඳහා යොදාගනු ලැබු කඩු කිණිසි ඇතුළු ආයුධ අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පැවසීය. ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment