ඉන්ධන පෝලිමේ  සිටි තිදරු පියා මරුට

594

අලුයම එකට පමණ ඔහු කෙඳිරි ගෑවා….

පානදුර, වෑකඩ ඉන්ධන පිරවුම්හලේ පෝළිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු 16 වැනිදා අලුයම හදිසියේ අසනීපවී මියගොස් ඇතැයි පානදුර පොලිසිය පවසයි. දින දෙකක් තිස්සේ මොහු ඉන්ධන පෝළිමේ රැඳී සිට ඇත.

පානදුර, හිරණ, විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටි මුතුතන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු පියකු මෙසේ මියගොස් තිබේ.

ඔහු තවත් ත්‍රිරෝද රථ රියැදුරකු සමග පෙරදින එගොඩඋයන පිරවුම්හලේ රැඳී සිට පසුව රාත්‍රි 7.00 ට පමණ වෑකඩ ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇත. එහිදී සහෝදර ත්‍රිරෝද රථ රියැදුරකු සමග රාත්‍රි ආහාරය ලබාගෙන ත්‍රිරෝද රථය තුළ රැඳී සිටියදී මෙසේ හදිසියේ අසනීපව ඇතැයි සඳහන් වේ.

පසුව අසල සිටි පුද්ගලයන් 1990 සුවසැරිය ගෙන්වා ගැනීමට උත්සාහ කර ඇතත්, එය නොපැමිණි බැවින් ත්‍රිරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

මියගොස් ඇති තැනැත්තා සමග පෙරදින සිට පෝලිමේ රැඳී සිටි එල්. අතුලසිරි සිල්වා මහතා : අපි දෙන්නා මොරටුව එගොඩඋයන පිරවුම්හලේ පෝළිමේ ඉඳලා ඒකෙ තෙල් නැති නිසා රෑ 7.00 ට විතර වෑකඩ පෙට්‍රල් පෝළිමට ආවා. එයා ඉස්සරහ හිටියා. මම පසුපස අසුනේ හිටියා. අලුයම 1.00 ට පමණ ඔහු කෙඳිරි ගෑවා. 1990 ට කෝල් කළා ආවේ නෑ. ඒ නිසා ඔහුව ත්‍රිරෝද රථයක නංවාගෙන පානදුර රෝහලට ගෙනගියා. පසුව ඔහු මියගොස් ඇති බව දැනගත්තා.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment