ඉන්ධන මිල – විදුලි බිල වැඩිකර ජනතාවට බර පැටවීමට අපි එකඟ නැහැ

91

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්

පක්ෂයක් හැටියට අපි ඉන්ධන හෝ විදුලිබිල වැඩිකර ජනතාවට බර පැටවිය යුතු නැහැ කියන තැන සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ වන විට රටේ අවධානය යොමුවී තිබෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්. මැතිවරණ කොමිෂන් සභාව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා නොබෝ දිනකින් මැතිවරණයට අදාල ගැසට් නිවේදනය පළකරන බවට. අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවරත් සන්ධාන ගතව සිටින සියළු පක්ෂ සමග සාකච්ඡා කර තීරණය කර තිබෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට.

මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වූවාට පසු අවශ්‍ය ඉදිරි කටයුතු කෙරෙනවා. මෙයට පෙර කටයුතු කළ ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන නාමය යටතේ පොහොට්ටුව ලකුණින් මෙවරත් පළාත් පාලන ඡන්දයට තරඟ කෙරෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය සමගත් යම්තාක් දුරකට සාකච්ඡා කළා. සමහර විට අවස්ථා ඇතිවෙයි ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේ අපේක්ෂකයින් සහිතව ඔවුන්ගේ පක්ෂවල ලකුණින් තරඟ කිරීමටත්. කෙසේ නමුත් අති බහුතරයක් පළාත් පාලන ආයතන පොහොට්ටුව ලකුණින් තරඟ කෙරෙනවා.

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමක් පිළිබඳව තවමත් ඍජු තීරණයක් ගෙන නැහැ. දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඒ හැර මෙතෙක් තීරණයක් ගෙන නැහැ. කෙසේ නමුත් තවමත් සාකච්ඡා අවසන් නැහැ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අති බහුතරයක් කොට්ඨාශ ජයග්‍රහණය කළ හැකි බවට අපි විශ්වාස කරනවා.

පක්ෂයක් හැටියට අපි ඉන්ධන හෝ විදුලි බිල වැඩිකර ජනතාවට බර පැටවිය යුතු නැහැ කියන තැන හැමදාම ඉන්නවා. හිටපු බලශක්ති ඇමැතිවරයා ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවේදීත් අපි පක්ෂයක් ලෙස විරෝධය පෑවා. අපි හැම තිස්සෙම දැරූ මතය මිල වැඩි කිරීම ආර්ථිකය මත පටවන්නේ නැතුව ජනතාවට ආර්ථික වශයෙන් නැගිටීමට අවස්ථාව දිය යුතුයි. ඉන් පසුවයි තීරණයක් ගතයුත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා

මහජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්නය කෙරෙහි අපි පක්ෂයක් වගේම ආණ්ඩුවක් ලෙස විශේෂ අවධානය යොමුකර තිබෙනවා. භාණ්ඩ හා සේවාවන්හි මිල මට්ටම් පහළ යෑම පිළිබදව විශාල බලාපොරොත්තුවක සිටිනවා. ඉහළ අගයක පැවැති උද්දමනය මේවනවිට යම් සැනසිලිදායක තත්ත්වයකට පත්වන්න පටන්ගෙන තිබෙනවා. නව වසරේ අපට තිබෙන ප්‍රධාන අපේක්ෂාව උද්ධමනය තවදුරටත් පහළ මට්ටමකට රැගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණගෙන ඒ සඳහා වන වෙළඳපොල තත්ත්වය නිර්මාණය කිරීමයි. එයයි ජනතාව බලාපොරොත්තු වන්නේ.

මේවන විට විදේශගත වන ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ සාපේක්ෂව ඉතා ප්‍රසස්ථ මට්ටමකට රැගෙන ඒමට හැකිවේවි. සංචාරක කර්මාන්තයෙන් ඉපයීම බිලියන 1.2 ක් ඉක්මවා ගොස් තිබෙනවා. මේ කෙටි මාර්ග දෙක ඔස්සේ විදේශ සංචිත සම්බන්ධව දැනට තිබෙන වේදනාකාරී තත්ත්වය යම්දුරකට සමනය කර ගැනීමට හැකියාවක් ලැබේවි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment