ඉන්ධන මිල සූත්‍රය ගැසට් නොකරන්නේ හොරා කන්නයි

118

ඉන්ධන මිල සූත්‍රය ගැසට් කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ වංචා දූෂණ සිදු කිරීමේ අරමුණින් යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (25දා) පැවසීය.

මිල සූත්‍රයක් ඇත්නම් එය ගැසට් මගින් ප්‍රකාශ කළ යුතු බව ඛනිජ තෙල් පනතේ 66 (4) වගන්තියෙන් කියා ඇතිමුත් ආණ්ඩුව වත්මන් ඉන්ධන මිල සූත්‍රය ගැසට් කර නැතැයි ද හෙතෙම කීවේය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අන්තර්ජාලය ඔස්සේ ජනතාවට දැන් සැනින් දැන ගත හැකි බවත් මිල සූත්‍රය ගැසට් කර තිබුණේ නම් ඉන්ධන විකුණන්නේ සැබැවින්ම මිල සූත්‍රයට අනුව ම ද නැතිනම් වැඩි ගණන්වලට ද කියා ජනතාවට දැනගත හැකි බවත් පැවසූ ඒ මහතා එය ගැසට් නොකරන්නේ ජනතාව දැනුවත් වීම වළක්වා මිල සූත්‍රයට පිටින් වැඩි ගණනට ඉන්ධන විකිණීමේ අරමුණින් යැයි ද පැවසීය.

ඉන්ධන මිල සූත්‍රය ගැසට් කිරීම ඛනිජ තෙල් ඇමැතිවරයාගේ මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ ද වගකීමක් යැයි ද ඔහු කීවේය. මෙය ගැසට් නොකිරීම පිළිබඳව ඉදිරියේදී කෝප් කමිටුව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment