ඉන්ධන යලි වැඩි උණොත් බස් ගාස්තු 35%කින් වැඩි කළ යුතුයි

120

යළි ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවහොත් සියයට තිස් පහකින්වත් යළි බස් ගාස්තු ඉහළ දැමිය යුතුව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා “දිවයින”ට පැවසීය.වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි 01 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙන බැවින් ඉන්ධන මිල ඉහළයෑම, ටයර් ටියුබ්, බැටරි හා අනෙකුත් උපාංග මිල ආදිය සැලකිල්ලට ගෙන බස් ගාස්තු සංශෝධනය කළ යුතු බවද ඔහු කීවේය. ඉන්ධන මිල යළි ඉහළ දැමීමක් සිදු කළහොත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ඊට සාපේක්‍ෂව සිදුකළ යුතු බවද ඒ මහතා කීය.

මේ වන විට බස් කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තරමට සියලුම උපාංගවල මිල ගණන් සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.ඉකුත් කොරෝනා වසංගතය පැවති 2001 අවසාන කාලයේදී ආසන්න ගණනට මගීන් ගෙනයෑමේ එකඟතාව මත බස් ගාස්තුව සියයට 20 කින් වැඩි කළ පසු මෙම වසරේදී හතර වතාවක්ම බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිසම අවසර ලබාදී ඇත.

නමුත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස 01 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතාද කියා සිටියේය.මෙම වසරේ හතර වතාවක් බස් ගාස්තු වැඩි කිරීමේදී සැලකිල්ලට ගත්තේ ඉන්ධන මිල ඉහළයෑම පමණක් යැයිද ජුලි මස 01 වැනිදා වාර්ෂික සංශෝධනයේදී අනෙකුත් කරුණු සියල්ල සලකා බලන බවද හෙතෙම කීය.මෙම වසරේ දී බස් ගාස්තු සියයට තුන් සියයකින් පමණ ඉහළ යෑම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ශිරාන් රණසිංහ – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment