ඉන්ධන, විදුලිය, ගෑස් අර්බුදයෙන් බහුදින යාත‍්‍රා දහසක් එක තැන ගාල්වෙයි

155

පවතින විදුලි, ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙතෙක් රජයට හෝ රටට බරක් නොවී අනුනට අතනොපා ගෞරවනීය ජීවිතයක් ගත කළ ධීවරයා අද අනුනට අතපා ජීවත් විය යුතු යාචකයන්ගේ තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ධීවර කාර්මිකයෝ මැසිවිලි නගති.

මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ මීගමුව බහුදින ධීවර යාත‍්‍රා සමිතියේ සභාපති සහ සමස්ත ලංකා බහුදින ධීවර යාත‍්‍රා සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා ‘‘ඉන්ධන’’ ගෑස් විදුලි අර්බුදය නිසා දිවයිනේ බහුදින ධීවර යාත‍්‍රා 1000 කට අධික සංඛ්‍යාවක් ධීවර තොටුපළවල්වල ගාල් වෙලා.

බහුදින ධීවර යාත‍්‍රා බහුතරයක් මහ මුහුදේ රැුඳී සිට මාසයකට අධික කාලයක් ධීවර රැුකියාවේ යෙදෙනවා. මුහුදු යෑමට බහුදින ධීවර යාත‍්‍රාවලට ඞීසල් අවශ්‍යයයි. අද ඞීසල් ලබා ගැනීම ප‍්‍රශ්නයක් බවට පත් වෙලා. ඞීසල් ලැබුනත් ප‍්‍රමාණවත් නැහැ. අපි බෝට්ටුවේ ඉද්දී ආහාර පිය ගැනීමට ගෑස් අවශ්‍යයයි. අල්ලා ගන්නා මසුන් සුරක්‍ෂිතව ළ`ග තබාගන්න අයිස් අවශ්‍යයි. විදුලි අර්බුදය නිසා සමහර අයිස් මෝල් වැහිලා. අයිස් මෝල්වල නිපදවන අයිස් ප‍්‍රමාණය අඩුයි. සියල්ලන්ට අයිස් ලබා දිය යුතු නිසා අපිට ප‍්‍රමාණවත් අයිස් ලැබෙන්නේ නැහැ. අල්ලා ගන්නා මාළු නරක් නොවී ආරක්‍ෂා කිරීමත් අද අපිට ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත්වෙලා අපේ බහුදින ධීවර යාත‍්‍රා මගින් අල්ලන මසුන් වෙළෙඳාම් කිරීම බෝට්ටු කර්මාන්තයේ නියුතු ධීවර කාර්මිකයන් පවුල් නඩත්තු කිරීම ආදියෙන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ජීවත් වෙනවා.

දැන් ඒ බහුතරයක් ඉන්නෙ හාමතේ. මෙම තත්ත්වය තවත් ඉදිරියට පැවතුනොත් ගෞරවනීය ධීවර කාර්මිකයා අනුන්ගෙන් ඉල්ලා කන තත්ත්වයට පත්විය හැකි යැයි ඔහු පැවසීය. මේ පිළිබඳව අදහස් දැක් වූ එක් දින ධීවර යාත‍්‍රා (පොඩි බෝට්ටු) ධීවර කාර්මිකයන්ගේ කැඳවුම්කරු වන පිටිපන අරුණ රොෂාන් මහතා පොඩි බෝට්ටු හිමියන් දිනපතා මුහුදු යනවා. ඒ අයට දිනපතා භූමිතෙල් අවශ්‍යයි. භූමිතෙල් නැති කමෙන් දිවයිනේ ලක්‍ෂ සංඛ්‍යාත එක්දින මුහුදු රැුකියාවේ නිරත පොඩි බෝට්ටු හිමි ධීවර කාර්මිකයන් පීඩාවට පත් වෙලා. එක්දිනක් මුහුදු ගියොත් පසුදිනට භූමිතෙල් පෝලිමේ ලගින තැනට සුළු පන්න ධීවර කාර්මිකයන් පත්වෙලා. මේ අර්බුද විසඳන තෙක් කුඩා ධීවරයා අනුන්ගෙන් යැපෙන යාචකයන් බවට පත්කර හමාරයි යැයි ඔහු පැවසීය.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment