ඉන්සියුලින් බාහිරින් ලබාදීම

284

දියවැඩියා රෝගයේදී ලබාදෙන ප්‍රතිකාර අතර ඉන්සියුලින් බාහිරින් ලබාදීමේ ප්‍රතිකාරය ගැන ඇතැම් දෙනා තුළ ඇත්තේ අනියත බියකි. ඉන්සියුලින් බාහිරින් ලබාදීමේ ප්‍රතිකාරය යනු දියවැඩියා රෝගය බරපතළවූ විට ලබාදෙන අවසන් ප්‍රතිකාර යැයි ඔවුහු සිතති. එනිසා වෛද්‍යවරයෙක් දියවැඩියා රෝගියකුට ඉන්සියුලින් බාහිරින් ලබාදීමට තීරණය කළ විට එවැනි රෝගීන් මහත්සේ බියට පත්වෙති.

වෛද්‍යතුමනි දියවැඩියා රෝගයේදී ප්‍රතිකාරයක් ලෙස ඉන්සියුලින් බාහිරින් ලබාදෙන්නේ කුමන අවස්ථාවේදීද?

ඉන්සියුලින් යනු ශරීරයේ අග්න්‍යාසයෙන් ශ්‍රාවය වන රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන ප්‍රධානම හෝමෝනයකි. මෙම හෝමෝනය රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේදී සිරුරේ ඉන්ද්‍රියයන්හි සෛල තුළට ඇතුළුවේ. එහිදී අක්මාවේ සෛල සහ පේශී පටකවල සීනි ප්‍රමාණය වැඩිනම් ඒවා ග්ලයිකෝජන් බවට පත්කරයි. මේද පටකවල ඇති සෛලවල සීනි ප්‍රමාණය වැඩිනම් ඒවා ට්‍රයිග්ලිසරයිඩ මේද බවට පත්කර ශක්තිය ලෙස ගබඩා කර තබයි.

පළමු කාණ්ඩයේ ((TYPE 1) දියවැඩියා රෝගීන්ට

පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරින් ඉන්සියුලින් නිපදවන්නේ නැති නිසා ඔවුනට මුළු ජීවිත කාලයටම බාහිරින් ඉන්සියුලින් ලබාගත යුතුය. මොවුන්ගේ අග්න්‍යාසයේ බීටා සෛල විනාශවී ඇති නිසා ඉන්සියුලින් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. එනිසා ඔවුනට නිසි ලෙස ඉන්සියුලින් නොලැබුණහොත් ජීවිත පැවැත්ම පවා අවදානමකට ලක්වේ.

දෙවැනි කාණ්ඩයේ ((TYPE 2) දියවැඩියා

රෝගීන්ට දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරින් මුල් කාලයේ හොඳින් ඉන්සියුලින් නිපදවනු ලබයි. එනිසා ඔවුනට එම කාලයේදී බාහිරින් ඉන්සියුලින් ලබාදිය යුතු නැත. ඖෂධ භාවිතය, ආහාර පාලනය, ජීවන රටාව වෙනස් කරගැනීම සහ ව්‍යායාම කිරීම මගින් දියවැඩියාව පාලනය කරගත හැකිය. නමුත් කාලයක් යන විට ඔවුනගේ අග්න්‍යාසයේ ඇති බීටා සෛලවල දුර්වලතා හටගනී. (Beta cell failure) මෙම තත්ත්වයට පත්වූවිට ඖෂධ ලබාදීම මගින් රුධිර සීනි මට්ටම පාලනය කිරීමට නොහැකිවේ. එවැනි රෝගීන්ට බාහිරින් ඉන්සියුලින් එන්නත් කළ යුතුවේ.

මීට අමතරව දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින්වලට ශරීරයේ ප්‍රතිරෝධයක් හටගැනීමක්ද සිදුවිය හැකිය. එවිට ඊට සරිලන ලෙස ඉන්සියුලින් නිෂ්පාදනයක් අග්න්‍යාසයෙන් සිදුනොවේ.

එසේම සිරුරේ ග්ලූකෝස් මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතින විට අග්න්‍යාසයේ ඇති බීටා සෛලවලට ඉන්සියුලින් නිපදවීමට නොහැකි තත්ත්වයක් මතුවේ.

(Beta cell toxicity) මෙවැනි රෝගීන්ට මුල් අවස්ථාවේදී බාහිරින් ඉන්සියුලින් ලබාදීමේදී ඔවුන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉතා පහසුවෙන් පාලනය කළ හැකි බව පර්යේෂණ මගින් ඔප්පු වී තිබේ. ඇතැම් රෝගීන්ට මෙලෙස මුල් අවස්ථාවේදී ඉන්සියුලින් ලබාදීමේදී බොහෝ කාලයක් ඖෂධ පවා නොමැතිව සිරුරේ රුධිර සීනි මට්ටම ඉතා හොඳින් පාලනයවී ඇති අවස්ථා දැකිය හැකිය.

ඉන්සියුලින් යනු ප්‍රෝටීනයකි. එනිසා එය ගැබිනි සමයේ දියවැඩියාවෙන් පෙළෙන මව්වරුනට ලබාදීමෙන් දරු කලලයට හානියක් සිදුනොවන බවට පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

එනිසා ගර්භණී සමයේදී දියවැඩියා සහිත මව්වරුනට දියවැඩියා රෝගය පාලනය සඳහා ඖෂධ පෙති ලබාදීමට වඩා ඉන්සියුලින් ලබාදීම ඉතා සුදුසු බව හඳුනාගෙන තිබේ. එනිසා එවැනි ගර්භණී මව්වරුන්ටත් ඉන්සියුලින් ලබාදීමට වෛද්‍යවරුන් මේ වනවිට නිර්දේශ කරනු ලබයි.

ඊට අමතරව දරුණු හෘදයාබාධ සහිත දියවැඩියා රෝගීන්ට සහ නියුමෝනියාව වැනි බරපතළ ආසාදන රෝග මතුව ඇති දියවැඩියා රෝගීන්ටත් දියවැඩියාව පාලනය සඳහා මෙට්ෆොමින් වැනි ඖෂධවලට අමතරව ඉන්සියුලින් එන්නත් කිරීමේ ප්‍රතිකාරයත් නිර්දේශ කරනු ලබයි.

මෙය ඉන්සියුලින් ලබාදීම දිගටම සිදුකිරීමක් නොව මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ලබාදෙන තාවකාලික ප්‍රතිකාරයකි.

ඉන්සියුලින් බාහිරින් ලබාදීම

අන්තරාසර්ග රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment