ඉන්සියුලින්  බාහිරින් ලබාදීමෙන්  සිරුරට එය  ඇබ්බැහි වෙනවාද?

1370

දියවැඩියා රෝගයේදී ලබාදෙන ප්‍රතිකාර අතර ඉන්සියුලින් ප්‍රතිකාරය ගැන ඇතැම් දෙනා තුළ ඇත්තේ අනියත බියකි. ඉන්සියුලින් ප්‍රතිකාරය යනු දියවැඩියා රෝගය බරපතළවූ විට ලබාදෙන අවසන් ප්‍රතිකාරය යැයි ඔවුහු සිතති. එනිසා වෛද්‍යවරයෙක් දියවැඩියා රෝගියකුට ඉන්සියුලින් ලබාදීමට තීරණය කළ විට එවැනි රෝගීන් මහත්සේ බියට පත්වෙති. මෙම තත්ත්වය මත දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් ප්‍රතිකාරය ලබාදීම සම්බන්ධව විමසා බලමු.

වෛද්‍යතුමනි දියවැඩියා රෝගයේදී ප්‍රතිකාරයක් ලෙස ඉන්සියුලින් ලබාදෙන්නේ කුමන අවස්ථාවේදීද?

ඉන්සියුලින් යනු ශරීරයේ අග්න්‍යාසයෙන් ශ්‍රාවය වන රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන ප්‍රධානම හෝමෝනයකි. මෙම හෝමෝනය රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේදී සිරුරේ ඉන්ද්‍රියයන්හි සෛල තුළට ඇතුළු වේ. එහිදී අක්මාවේ සෛල සහ පේශී පටක වල සීනි ප්‍රමාණය වැඩිනම් ඒවා ග්ලයිකෝජන් බවට පත්කරයි. මේද පටකවල ඇති සෛලවල සීනි ප්‍රමාණය වැඩිනම් ඒවා ට්‍රයිග්ලිසරයිඩ මේද බවට පත්කර ශක්තිය ලෙස ගබඩා කර තබයි.

පළමු කාණ්ඩයේ (TYPE 1) දියවැඩියා රෝගීන්ට

පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරින් ඉන්සියුලින් නිපදවන්නේ නැති නිසා ඔවුනට මුළු ජීවිත කාලයටම බාහිරින් ඉන්සියුලින් ලබාගත යුතුය. මොවුන්ගේ අග්න්‍යාසයේ බීටා සෛල විනාශවී ඇති නිසා ඉන්සියුලින් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. එනිසා ඔවුනට නිසි ලෙස ඉන්සියුලින් නොලැබුණහොත් ජීවිත පැවැත්ම පවා අවදානමකට ලක්වේ.

දෙවැනි කාණ්ඩයේ (TYPE 2) දියවැඩියා රෝගීන්ට

දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරින් මුල් කාලයේ හොඳින් ඉන්සියුලින් නිපදවනු ලබයි. එනිසා ඔවුනට එම කාලයේදී බාහිරින් ඉන්සියුලින් ලබාදිය යුතු නැත. ඖෂධ භාවිතය, ආහාර පාලනය, ජීවන රටාව වෙනස් කරගැනීම සහ ව්‍යායාම කිරීම මගින් දියවැඩියාව පාලනය කරගත හැකිය. නමුත් කාලයක් යන විට ඔවුනගේ අග්න්‍යාසයේ ඇති බීටා සෛල වල දුර්වලතා හටගනී. (Beta cell failure) මෙම තත්ත්වයට පත්වූවිට ඖෂධ ලබාදීම මගින් රුධිර සීනි මට්ටම පාලනය කිරීමට නොහැකි වේ. එවැනි

රෝගීන්ට බාහිරින් ඉන්සියුලින් එන්නත් කළ යුතුවේ.

මීට අමතරව දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින්වලට ශරීරයේ ප්‍රතිරෝධයක් හටගනී. එවිට ඊට සරිලන ලෙස ඉන්සියුලින් නිෂ්පාදනයක් අග්න්‍යාසයෙන් සිදු නොවේ.

එසේම සිරුරේ ග්ලූකෝස් මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතින විට අග්න්‍යාසයේ ඇති බීටා සෛලවලට ඉන්සියුලින් නිපදවීමට නොහැකි තත්ත්වයක් මතුවේ.  

(Beta cell toxicity) මෙවැනි රෝගීන්ට මුල් අවස්ථාවේදී ඉන්සියුලින් ලබාදීමේදී ඔවුන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉතා පහසුවෙන් පාලනය කළ හැකි බව පර්යේෂණ මගින් ඔප්පුවී තිබේ. ඇතැම්  රෝගීනට මෙලෙස මුල් අවස්ථාවේදී ඉන්සියුලින් ලබාදීමේදී බොහෝ කාලයක් ඖෂධ පවා නොමැතිව සිරුරේ රුධිර සීනි මට්ටම ඉතා හොඳින් පාලනයවී ඇති අවස්ථා දැකිය හැකිය.

ඉන්සියුලින් යනු ප්‍රෝටීනයකි. එනිසා එය ගැබිනි සමයේ දියවැඩියාවෙන් පෙළෙන මව්වරුනට ලබාදීමෙන් දරු කළලයට හානියක් සිදුනොවන බවට පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

එනිසා ගර්භණී සමයේදී දියවැඩියා සහිත මව්වරුනට දියවැඩියා රෝගය පාලනය සඳහා ඖෂධ පෙති ලබාදීමට වඩා ඉන්සියුලින් ලබාදීම ඉතා සුදුසු බව හඳුනාගෙන තිබේ. එනිසා එවැනි ගර්භණී මව්වරුන්ටත් ඉන්සියුලින් ලබාදීමට වෛද්‍යවරුන් මේ වන විට නිර්දේශ කරනු ලබයි.

ඊට අමතරව දරුණු හෘදයාබාධ සහිත දියවැඩියා රෝගීන්ට සහ නියුමෝනියාව වැනි බරපතළ ආසාදන රෝග මතුව ඇති දියවැඩියා රෝගීන්ටත් දියවැඩියාව පාලනය සඳහා මෙට්ෆොමින් වැනි ඖෂධවලට අමතරව ඉන්සියුලින් එන්නත් කිරීමේ ප්‍රතිකාරයත් නිර්දේශ කරනු ලබයි.

මෙය ඉන්සියුලින් ලබාදීම දිගටම සිදුකිරීමක් නොව මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ලබාදෙන තාවකාලික ප්‍රතිකාරයකි.

වෛද්‍යතුමනි මෙලෙස තාවකාලිව ඉන්සියුලින් ලබාදීමෙන් පසු එවැනි රෝගීන්ගේ සිරුරට ඉන්සියුලින් හුරුවීමක් සිදුවේවිද?

ඉන්සියුලින්වලට සිරුර ඇබ්බැහිවීමක් සිදුවෙනවා යැයි පැවසීම මිථ්‍යා මතයකි. සිරුර කිසි විටෙකත් ඉන්සියුලින්වලට ඇබ්බැහි වීමකට ලක්නොවේ. දියවැඩියාව නොමැති පුද්ගලයන්ගේ සිරුරේ දිනපතාම ඉන්සියුලින් නිපදවයි. එම ඉන්සියුලින් සිරුර තුළ මනාව ක්‍රියාත්මක වේ. ඉන්සියුලින් සිරුරට ඇබ්බැහිවීමක් සිදුවෙනවා නම් දියවැඩියාව ඉතා ඉහළ මට්ටමක පවතින ඉන්සියුලින් මගින් රෝගය පාලනය කරන අවස්ථාවේ සිටින අධික තරබාරු පුද්ගලයනට එම බර අඩුකර ගැනීම සඳහා සිදුකරන සැත්කම්වලින් පසු  (Bariatric surgery) සිරුරේ සීනි මට්ටම පාලනයට ඉන්සියුලින් නැවත ලබාදිය යුතුවේ. නමුත් මෙවැනි සැත්කමකින් පසු ඔවුනට රුධිර සීනි මට්ටම පාලනය සඳහා බාහිරින් ඉන්සියුලින් ලබාදීමට අවශ්‍ය නොවේ. ඊට හේතුව සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන් හොඳින් සිදුවීම නිසා සීනි මට්ටම පාලනය වීමය. ඉන්සියුලින් සිරුරට ඇබ්බැහිවීමක් සිදු වනවානම් මෙලෙස සිදුවන්නේ නැත.

ඉන්සියුලින්  බාහිරින් ලබාදීමෙන්  සිරුරට එය  ඇබ්බැහි වෙනවාද?

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment